ඔස්ට්‍රේලියා යන තවත් බෝට්ටුවක් අල්ලයි

Image copyright AFP
Image caption මීට පෙර හසු වූ බෝට්ටුවක්

නීති විරෝධී ආකාරයට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සුදානම් වූ ලාංකිකයන් 78 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

ඊයේ (25) මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ කිරින්ද වෙරළේ සිට කිලෝමීටර් 65 ක් පමණ දුරින් යුත් මුහුදු තීරයේදී මෙම පිරිස අත් අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර දමිල ජාතිකයන් 59 දෙනෙක්, සිංහල ජාතිකයන් 17 දෙනෙක් සහ ධීවර යාත්‍රාවේ සේවකයන් දෙදෙනෙකු ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම පිරිස ගොඩ බිම කරා රැගෙන එමින් තිබෙන බවත් පසුව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා පොලිසියට භාර දෙන බවත් නාවික හමුදා ප්‍රකාශක තවදුරටත් පැවසීය.

නාවික හමුදාව මගින් දියත් කර ඇති නාවික මුර සංචාර දැඩි කිරීම හේතුවෙන් පසුගිය කාලයේ මෙවැනි නීති විරෝධි සංක්‍රමණික ජාවාරම අඩු වී ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.