'මහින්ද එන්නේ සන්ධානයෙන්’ -ගම්මන්පිල

Image caption හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයේ දී තරඟ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යයි පිවිතුරු හෙළ උරුමය නායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

තමා තරඟ කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වන බවට හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව බීබීසිය කළ විමසීමකදීයි උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ.

හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොලැබුනහොත් ගනු ලබන ක්‍රියා මාර්ගය පිළිබඳව විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, නිසැකවම එම අවස්ථාව ලැබෙන අතර ඒ සඳහා ගෙන යමින් පවතින මූලෝපායී ක්‍රියාමාර්ග මාධ්‍යයට හෙළිදරව් කළ නොහැකි බවයි.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ‘අත’ ළකුණ නොවෙයි. ඩාර්ලි පාරේ තියෙන පක්ෂ කාර්යාලය නොවෙයි. මහින්ද රාජපක්ෂ කොතැනද එතනයි - ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය’ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන්නේ නම් වෙනත් බලවේගයක් යටතේ ඔහු යළි දේශපාලන භූමියට ගෙන ඒමට යත්න දරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට අත් වෙන ඉරණම කුමක්දැයි විමසූ විට පිවිතුරු හෙළ උරුමය නායක, උදය ගම්මන්පිල කියා සිටියේ, සන්ධානයේ සාමාජිකයන් නොවන කණ්ඩායම් ද අතීතයේ ඉන් තරඟ කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බවයි.