මැතිවරණයේ හැඩය හදන චරිත හතක්

ranil wickramasiinha Image copyright Getty

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත මේ වන විටත් දහස් ගණනක් අපේක්ෂකයින් නාම යෝජනා ලබා ගැනීමට ඉල්ලුම් පත් ඉදිරිපත් කොට ඇති අතර නාම යෝජනා ලබා දීමේ දී ගන්නා තීරණ අනුව පක්ෂය ඇතුලත මතුවෙන ගැට‍ළු මතු වීමට ඉඩ ඇත. තමන්ගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්තිය ජනතාවට විශ්වසනීය ලෙස පැහැදිලි කළ හැකි ප්‍රචාරණ උපක්‍රම නිර්මාණය කර ගැනීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනු ඇත.

අළුත් ප්‍රචාරණ උපක්‍රම

රනිල් වික්‍රමසිංහ මේ වන විට මැතිවරණ ගණනාවකින් ම පරාජයට පත්වී ඇති අතර මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීමට සුදුසු ප්‍රචාරණ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු වී ඇති බව වාර්තාවේ.

මුස්ලිම් කොංග්‍රසය, ලංකා වතු කම්කරු සංගමය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි වෙනත් පක්ෂ සමග පවත්වන සම්බන්ධතා සහ අවශ්‍ය වෙතොත් ඔවුන්ගේ සහයෝගය සභාග රජයක් වෙනුවෙන් ලබා ගන්නේ කෙසේ දැයි හිතා බලමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සිදු වෙනු ඇත.

තමන් බලයට පත්වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ.

හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මුහුණ දෙන ප්‍රධාන ගැටළුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් කිරීමය.

නායකත්වය තහවුරු කරගැනීම

මෙහිදී ප්‍රධාන බාධකයක් වන්නේ ඔහුගේ නායකත්වයට පක්ෂ තුළින් එල්ල වෙමින් තිබෙන අභියෝගයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂය තුළ සෑහෙන තරම් බලයක් ඇති හෙයින් හිටපු ජනාධිපතිවරයා වෙනම තරඟ කළොත් පක්ෂය තුළ බෙදීමක් ඇතිවිය හැකිය.පක්ෂයේ බලධාරිත්වය නීතිමය වශයෙන් හිමි වුනත් ඒ බලය දේශපාලනමය වශයෙන් පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන ගැටළුවට හිටපු විපක්ෂ නායකවරයාට මුහුණ දීමට සිදුවෙනු ඇත.

තිස් පස් වසරක පමණ දේශපාලන පල පුරුද්දක් ඇති නිමල් සිරිපාලද සිල්වා 1989 දී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි අතර පසුව බදුල්ල තම දේශපාලන බල ප්‍රදේශය කර ගත්තේය.

Image copyright Reuters

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් කියා සිටින්නේ මහා මැතිවරණයේ දී ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දිය යුතු බවයි එසේත් නැත්නම් නිර්පාක්ෂික ආකාරයකට කටයුතු කළ බවයි ඔවුන් කියා සිටින්නේ.

උභතෝකෝටික ගැටළුවට මැදිව

ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා තම පක්ෂය කටයුතු කළ හෙයින් තමන්ට එරෙහිව තරඟ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරයා සහයෝගය ලබා දිය යුතු නැති බවයි ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින් තර්ක කරන්නේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තරඟ කිරීමට ඉඩ දුන් හොත් තමන් සභාපති ධුරය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමන්ගේ බලය අඩුවීමට ඉඩ තිබෙන බව ජනාධිපතිවරයාට වැටහී යා හැකි අතර අනෙක් අතට හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා නොදීම හේතුවෙන් පක්ෂය තුළ බෙදීමක් ඇතිවීමට ඉඩ දුන්නේය යන චෝදනාව එල්ල වීමට ඉඩ තිබෙන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Image copyright AFP

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරනයෙන් පරාජය වීමත් සමගම අළුත් දේශපාලන වැඩ පිළිවෙලකට අවතීර්ණය විය.ජනාධිපති තනතුර හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර අත්හැරියත් දේශපාලන බලය අත් හැරීමට සුදානම් නොවූ මහින්ද රාජපක්ෂට තම බලය තහවුරු කර ගැනීම සඳහා මෙම මැතිවරණය වැදගත් වේ.

බලය සඳහා අරගලය

හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් තර්ක කරන අතරවාරේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති අපේක්ෂකයකු නම් කර නොමැති බව යි.

බලය අත් හැරීම පිළිබඳව අර්බුදයකට පත්ව සිටින හිටපු ජනාධිපතිවරයා යළිත් බලය අත්පත් කර ගැනීම තුළින් ඒ අර්බුදය විසඳා ගැනීමට උත්සාහ කරන බව දේශපාලන විචාරකයෝ පවසති.

අසු දෙහැවිරිදි වියේ පසුවෙන දෙමළ ජාතික සංධානයේ නායක රජවරෝතියම් සම්පන්තන් හට මේ මැතිවරණයේ දී මුහුණ දීමට සිදුවෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැට‍ළුවලට බලයට පත් වෙන ආණ්ඩුවෙන් විසඳුමක් ලබා දෙන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීමයි.

කේවල බලය

පළාත් සභා මැතිවරණ වලදී දෙමළ ජාතික සංධානයට විශාල බහුතරයක් ලැබුන අතර එවැනිම බහුතරයක් ලබා ගෙන පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් බලවේගයක් සේ කටයුතු කිරීම දෙමළ ජාතික සංධානයේ අපේක්ෂාව විය හැකිය.

ආණ්ඩුව සමග කටයුතු කරන ආකාරය අනුව ඇතැම් විදෙස්ගත දැඩි මතධාරීන් දෙමළ ජාතික සන්ධාන නායකයා ව විවේචනය කොට ඇත්තේ ඔහු පමණට වඩා නම්‍යශීලී වෙතැයි යන චෝදනාව ඉදිරිපත් කරමින්.

මැතිවරණ ප්‍රචාරණය තුළ දැඩි මතධාරී දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජාතික සංධානයට එරෙහිව ‘ජාතික අරගලය’ පාවා දීමේ චෝදනාව ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ.

අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රචාරණ කටයුතු මෙහෙයවන මුල්ම මහා මැතිවරණය මෙයයි.

විකල්ප බල කණ්ඩායම

මෙවර මහා මැතිවරණය තුළ ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට නම් තම පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් පත් කරගත යුතු බවයි අනුර කුමාර දිසානායක පවසන්නේ.

මේ අනුව පෙනී යන්නේ මීළඟ පාර්ලිමේන්තුව තුළ ප්‍රධාන පක්ෂ වල ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනාත්මකව කටයුතු කරන කණ්ඩායමක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරීමට සුදානම් වන බවයි.

ශිෂ්‍ය ව්‍යාපාරය ඔස්සේ දේශපාලනයට පිවිසි හතලිස් හය හැවිරිදි අනුර කුමාර දිසානායක කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

බලය මෙහයවීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කරන චන්ද්‍රිකා කුමාරතුංග හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තම බලය තහවුරු කර ගැනීම සඳහා මෙම මහා මැතිවරණය වැදගත් වෙනු ඇත.

හිටපු ජනාධිපතිනිය වර්තමාන ආණ්ඩුවේ කටයුතු වලට විවිධ ආකාරයෙන් සහභාගි වන අතර ඉදිරි ආණ්ඩුවේ කටයුතු වලට සම්බන්ධවීමේ ඉඩකඩ බැහැර කළ නොහැක.මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහයවීමෙදී සහ නාමයෝජනා ලබා දීමේදී චන්ද්‍රිකා කුමාරතුංගට හිමී වෙන තැන සම්බන්ධයෙන් පක්ෂය තුළ මතභේද ඇති වීමට ඉඩ තිබේ.

දෙවරක් විධායක ජනාධිපති තනතුර දරා ඇති චන්ද්‍රිකා කුමාරතුංග හැත්තෑ වෙනි වියේ පසුවෙන අතර ජාත්‍යන්තර දේශපාලන වැඩසටහන් රැසක ක්‍රියාකාරීව සිටින්නීය.