ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති මෛත්‍රීට ලැජ්ජා නැද්ද? - හරීන්

හිටපු ජනපතිවරයා සමඟ යළි දේශපාලනයේ යෙදීමට ජනාධිපතිවරයාට ලැජ්ජාවක් නැතිදැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති ධුරය ලබා දීමට හෝ එම පක්ෂයෙන් තරඟ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කරනවාදැයි සැකයක් තමන්ට මතුව ඇති බවයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ.

‘අපි හිතුවේ නැහැ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ලැජ්ජා නහර කපා ගනියි කියලා. අපි හිතන්නේ නැහැ එතුමා තවම ලැජ්ජා නහර කපා ගෙන කියලා. ජනාධිපතිතුමා නෙමෙයිද රාජපක්ෂගේ වැරදි තීන්දු තීරණ ගැන මේ රටේ වේදිකාවේ කතා කළේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙමෙයිද රටට කීවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වුනොත් තමාව අඩි 6ක් පහළට යවනවා කියලා’ ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

රටේ අනාගතය සම්බන්ධයෙන් තමා මූලිකත්වය දෙනවද නැතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මූලිකත්වය දෙනවාද යන්න පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

‘මහින්ද මහත්තය එනවා කියන්නේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එකතුවෙනවා කියන්නේ, මෛත්‍රිපාල ජනාධිපතිවරයා කියපු හොරු ටික එතුමා ආරක්ෂා කරන එක. එතුමා හිතනවා නම් රට නෙමෙයි ආරක්ෂා කරන්න ඕනේ තමන්ගේ පක්ෂය කියලා අපේ රටට දෙවියන්ගේ පිහිටයි’ ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.