ශ්‍රීලනිපයෙන් අගමැති අපේක්ෂකයෙක් නෑ: ජනපති

Image caption "අගමැති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් කිසිදු එකඟතාවයක් ප්‍රකාශ කර නොමැත"

එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති අපේක්ෂකයකු නම් කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

"අගමැති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් කිසිදු එකඟතාවයක් ප්‍රකාශ කර නොමැත," බවයි ජනාධිපති කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.

අගමැතිවරයා පත් කරනු ලබන්නේ මහමැතිවරණයෙන් අනතුරුව පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසා බැලීමෙන් අනතුරුව බව පවසන නිවේදනය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙසින් ප්‍රකාශයට පත්කිරීමක් සිදු වී නොමැති බව අවධාරණය කරයි.

මහින්ද 'අනිවාර්යයෙන් තරඟ කරනවා'

Image caption "සාකච්ඡා සාර්ථකයි. හිටපු ජනාධිපතිතුමා තරඟ කරනවා. හිටපු ජනාධිඅප්තිතුමා මේ රටේ අගමැති වෙයි කියල අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා"

මේ අතර හිටපු ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් අතර මහනුවරදී පැවති සාකච්ඡා 'සාර්ථක' බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත් පක්ෂ ලේකම්වරුන් ඇතුළු දූත පිරිසක් අඟහරුවාදා මහනුවරදී හිටපු ජනපතිවරයා හමුවූහ.

හිටපු ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම මහ මැතිවරණයට තරඟ කරන බව අවධාරණය කළ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා, ඒ පිළිබඳ නිල නිවේදනයක් ඉක්මනින්ම ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි පැවසීය.

"සාකච්ඡා සාර්ථකයි. හිටපු ජනාධිපතිතුමා තරඟ කරනවා. හිටපු ජනාධිපතිතුමා මේ රටේ අගමැති වෙයි කියල අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා," ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර