"අපි මහ මැතිවරණයට තරග කරනවා" මහින්ද

mahinda rajapaksha Image copyright Rahul Samantha Hettiarachchi

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමන් ඇතුළු කණ්ඩායම ඉදිරිපත්වන වන බව හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ අද නිවේදනය කළේය. මැදමුලන හිටපු ජනාධිපත්වරයාගේ නිවසේ පැවති විශේෂ උත්සවයකදි හිටපු ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිසගේ ඔල්වරසන් හඩ මධයේ මෙම ප්‍රකාශය සිදු කළේය.

"තමුන්නාන්සේලා මගෙන් කරන මේ ඉල්ලීම මම කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, එහෙම අයිතියක් මට නැහැ, ඒ නිසා රට වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තුව සඳහා අපි තරග කරන්න ඕනේ කියලා බොහොම පැහැදිලිව අපි කියනවා"

ඉදිරි මැතිවරණයට තරග කිරීමට තමන් සුදානම් බව හිටපු ජනාධිපතිවරයා අද ප්‍රකාශ කළත් ඔහු තරග කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද නැතිනම් වෙනත් පක්ෂයකින් ද යන්න ඔහුගේ මිනිත්තු තිහකට ආසන්න මෙම විශේෂ ප්‍රකාශයේදී සඳහන් නොවිනි.

ජාතික ආරක්ෂාවට තර්ජන

මෙම ප්‍රකාශයේදී හිටපු ජනධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉලක්ක කර ගනිමින් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමත් විශේෂත්වයක්.

මාස හයක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිසා ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට මහා තර්ජනයක් එල්ලවී ඇති බවද රාජපක්ෂ හිටපු ජාන්ධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

නතර වු සංවර්ධනය යළි අරම්භ කිරීමට, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ ගැනීමට , අධිකරණයේ ස්වාධීනත්වය නැවත ගොඩනැගීමට ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සුදානම් බවයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒකාධිපතියෙකු සහ සොඳුරු ආඥාදායකයා

තමන් ඒකාධිපතියෙකු ලෙසටත්, සොඳුරු ආඥාදායකයෙකු බවටත් විවිධ පුද්ගලයන් චෝදනා කාලත් තමන් පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඉවත්ව ගිය ආකාරයේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට පුර්වාදර්ශයක් ලබාදුන් බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කළා

" මේ රටේ නෙවෙයි පිටරට අයත් පුදුම වුනා මේ යෝධයා මේක බාරදීලා ගියා කියලා එකපාරටම" යැයි කියා සිටියේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමි පිරිස් වෙතින් හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කලේ 2005 දී එක්වූ ආකාරයෙන් රට බේරාගැනීම සඳහා තමන් සමග අත්වැල් බැඳ ගන්නා ලෙසයි.