මහින්ද-මෛත්‍රී දේශපාලන දාදු ක්‍රීඩාව

sirisena and rajapaksha

ජනාධිපතිවරණය හමාර වීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ආරම්භ වූ බල අරගලය අළුත් ඉසව්වක් කරා තල්ලු වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණයට තරඟ කරන බව මේ වනවිට ප්‍රකාශයට පත් කොට ඇතත් තරඟ කරන පක්ෂය හෝ සන්ධානය පිළිබඳව ඇත්තේ අනුමාන සහ උපකල්පන රැසක් පමණි.

බල තරඟයේ වෙනස්කම් වලට සමාන්තරව මේ උපකල්පන සහ අනුමාන වෙනස් වීමට ඉඩ තිබේ.

මේ අනුමාන සහ උපකල්පන අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය මෙන්ම - මීලඟ පාර්ලිමේන්තුවේ හැඩරුව ගැනත් කථා බහක් ඇතිවී තිබේ.

ශ්‍රීලනිප-දෙකඩවීම-වික්ටර් අයිවන්

Image copyright Victor Ivan

රාවය ආරම්භක කතුවර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩවීම නොවැලැක්විය හැකි යථාර්ථයක් බවයි.

මහින්ද රාජපක්ෂ බුලත් කොළය ලකුණ යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට ඉඩ ඇති අතර ජනාධිපති සිරිසේනට පක්ෂපාතී පිරිස් ඔහු පෙන්වා දෙයි.

කුසල් පෙරේරා-මහින්ද රැල්ලේ සැර බාලයි

Image copyright Kusal Perera

මාධ්‍යවේදී කුසල් පෙරේරාගේ කියවීම වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමාජ රැල්ලක් මතු කර ගැනීමට හැකිවී ඇතත් ඔහුට පක්ෂය තුළ තීරණාත්මක බලපෑමක් කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ නිසා හිටපු ජනාධිපතිවරයාට අඩියක් පස්සට ගෙන තමන්ගේ සමාජ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වීමට සිදුවෙන බවයි.

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොවන බව කුසල් පෙරේරා තර්ක කරයි.

මහින්ද විරෝධී පෙරමුණක්- සමන් රත්නප්‍රිය

පුරවැසි සංවිධාන එකමුතුව මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටි සංවිධානයකි.

එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මේ වන විට සෑහෙන සමාජ බලයක් අත්පත් කර ඇතත් කුමන දේශපාලන පක්ෂයක් හරහා ඉදිරිපත් වුනත් ඔහු පරාජයට පත් කොට එක්සත් ජාතික පක්ෂ සභාග රජයක් පිහිටුවිය හැකි බවයි.

මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කිරීමට උනන්දු වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් ගෙන් කොටසක් කෙළින්ම මහින්ද විරෝධී සටන් පාඨ සමගින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ ඇතත් තවත් පිරිසක් ඊට වඩා වෙනස් මැදිහත් වීමකට සුදානම් වන බවක් පෙනෙන්ට ඉඩ තිබේ.

මෛත්‍රී උගුලක- ගාමිණී වියන්ගොඩ

පුරවැසි බලය සංවිධානය හරහා මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටි ගාමිණී වියන්ගොඩ කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීමේදී එකිනෙකට පරස්පර පිළිවෙත් අනුගමනය කිරීම නිසා ජනාධිපතිවරයා උගුලක හිරවී සිටින අතර අනාගතයේ දී පරාජය භාර ගැනීමට සිදුවෙන බවයි.

මේ තත්ත්වය හමුවේ විකල්ප සමාජ වැඩ පිලිවෙලක් සමගින් තමන් කෙළින්ම ජනතාව ආමන්ත්‍රණය කිරීමට තැත් කළ බව වියන්ගොඩ කියා සිටී.

මේ ඇමතුමේ දේශපාලන වාසිය එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට හිමි වෙන බව තමන් දන්නා නමුත් ඒ පිළිබඳව තමන්ට ගැටළුවක් නැති බව වියන්ගොඩ පවසයි.

අර්බුදය සමහන්වේ -දයාන් ජයතිලක

හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර සංහිඳියාවක් ඇති වීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බහුතරයේ ප්‍රාර්ථනාව වන හෙයින් ඊට අනුගත වී පක්ෂය තුළ හට ගෙන තිබෙන අර්බුදය සමහන් වීමට ඉඩ තිබෙන බව දේශපාලන විචාරක දයාන් ජයතිලක පවසයි.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත්වීමෙන් තමන්ට ඇතිවෙන අපහසුවට වඩා රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව සංශෝධනය කොට තමන් බල රහිත කළ හොත් තමන්ට අත් වන අනතුර වැඩි හෙයින් මේ ප්‍රශ්නය සමථයකට පත් කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ හැකි බව දයාන් ජයතිලක පැවසීය.

පෙරළෙන දාදු කැටේ

මේ ප්‍රකාශ වලට අනුව ශ්‍රී ලංකා දේශපාලනයේ දාදු කැටය පෙරළෙන දිශාව නිශ්චය කර ගැනීම සෑහෙන තරම් අසීරු බව පෙනී යන නමුත් මීළඟ මහා මැතිවරණය ඉතා උණුසුම් එකක් වෙනවාට සැක නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර