'ආර්ථිකයේ සැබෑ දත්ත ග්‍රීසිය වාර්තා කොට නෑ'

Image copyright AP

ග්‍රීසියේ ණය අර්බුදය මේ දිනවල විශාල වශයෙන් කතා බහට ලක් වෙයි.

ග්‍රීසියේ ණය අර්බුදයක් පවතිද්දී එනම් මීට වසර පහකට පමණ පෙර ශ්‍රී ලංකාව එරට බැඳුම්කර මිලදී ගත්තේ ලාභ ලැබීම අරමුණු කොට ගෙන.

එතෙත් ග්‍රීක ආර්ථිකය කඩා වැටීමත් සමඟ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 3000 ක පමණ මුදලක් අහිමි විය.

ජනතාව මත අධික බරක්

ග්‍රීසියට මේ තත්වයට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගෙන අසීමිත ලෙස වියදම් කිරීම හේතුවෙන් බවයි ‘ඉකොනොමි නෙක්ස්ට්’ (Economy Next) අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න ප්‍රකාශ කළේ.

රාජ්‍ය සේවකයන්ට ඉහල වැටුප් ගෙවීමට මෙන්ම විශ්‍රාම වැටුප් ලබා දීමට රජය විශාල මුදලක් වැය කොට ඇති බවත් වෙනත් අධික වියදම් හේතුවෙන් ජනතාව මත අධික බරක් පැටවී ඇති බවයි ඔහු පවසන්නේ.

Image copyright Reuters
Image caption ග්‍රීසියේ විරෝධතා දක්වන පිරිස්

ණය ආපසු ගෙවීමට නොහැකි තත්වයකට පත්වූ ග්‍රීසිය රටේ ආර්ථිකය සම්බන්ධ සැබෑ දත්ත පවා වාර්තා කොට නැති බවයි ඔහු පැවසුවේ.

ශ්‍රී ලංකාවේත් එවැනිම තත්වයක් දකින්නට ඇති බව සඳහන් කරන ඔහු කියා සිටියේ;

“අපි දන්න දත්ත වුනත් අපේ රාජ්‍ය නය බර මේ කියන ප්‍රමාණයට වඩා වැඩියි “

ශ්‍රී ලංකාවේ අය වැය හිඟය සහ ජාතික ණය පිළිබඳ දත්ත වල ප්‍රශ්නයක් ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

අවබෝධය

ජාතික විගණන පනතක් මගින් ජාතික විගණන කොමිසමක් පිහිටුවීම මගින් පාර දූෂ්‍ය බව ඇති කර ගැනීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව පවසන ඉකොනොමි නෙක්ස්ට් (Economy Next) අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න කියා සිටින්නේ ජනතාව සහ සිවිල් සමාජ කණ්ඩායම් රජයේ වියදම් පිළිබඳව අවබෝධයකින් සිටිය යුතු බවයි.

Image copyright AP
Image caption ණය දෙන්නන්ගේ යෝජනාවලට එරෙහි ජනතාව

ආර්ථික කටයුතු පිළිබඳ ලියුම්කරුවකු සහ ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව රටේ විදේශ සංචිත වෙනත් රටක ආයෝජනය කර ඇති ආකාරය සම්බන්ධයෙන් නිලධාරීනට දඬුවම් කිරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දී ඇති නිසා අනාගතයටත් එය බලපාන බවයි.

මේ නිසා ශ්‍රී ලංකාව විදේශ සංචිත ආයෝජනය කිරීමේදී කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද යන්න තීරණය කළ යුතු බවයි.

“රජය ප්‍රතිලාභ වැඩි කර ගන්නවාද අවධානම අඩු කර ගන්නාවද යන කරුණු මත සමබර තාවයක් ඇති කර ගත යුතුයි”