'හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා දෙන්නේද? - තීරණය අද'

Image copyright Rahul Samantha Hettiarachchi

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දෙන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය අද දවස ඇතුළත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිවේදනය කරන බව මහින්ද රාජපක්ෂ පාර්ශවය ප්‍රකාශ කොට තිබේ.

අද දහවල් 11 ට මහින්ද පාර්ශවයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුනත් එය අද සවස 4 දක්වා කල් දමා ඇත.

ජනාධිපතිවරයාගේ අවසන් තීරණය කුමක් ද යන්න දැන ගැනීමෙන් පසු මාධ්‍ය සාකච්ඡාව පවත්වන බවටයි වාර්තා වන්නේ.

මේ අතර මහින්ද පාර්ශවය ඊයේ බ්‍රහස්පතින්දා රාත්‍රි එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් ගේ නිවසේ සාකච්ඡාවක් පවත්වා ඇත.

එම සාකච්ඡාව පවත්වා ඇත්තේ ඊයේ රාත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසුවයි.

එම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් වූ බවයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික වාසුදේව නානායක්කාර මාධ්‍යයට ප්‍රකාශ කළේ.