ඇමති නාවින්න එජාපයට

Image caption එජාප මූලස්ථානයේ රැස්වීමක්

අගෝස්තු 17 මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මතු වී ඇති අර්බුදය අද අලුත් මුහුණුවරක් ගත්තේ ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී .නාවින්න ඇමතිවරයා එජාපයට එක්වීමත් සමගයි.

කම්කරු සහ කම්කරු සබඳතා ඇමති එස්.බී.නාවින්න සිය නව ස්ථාවරය මහජන හමුවක දී විස්තර කරමින් කියා සිටියේ, අගමැති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කරමින් තමා එක්සත් ජාතික පක්ෂයට එක් වෙන බවයි.

එම මහජන හමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ එස්.බී.නාවින්න ඇමතිවරයා, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ තමා හමු වීමට දරන ලද උත්සාහයක් ගැනත් හෙළිදරව් කළේය.

එහෙත් තමා එම හමුවට එකඟ නොවූ බවයි ඔහු කියා සිටියේ.

එස්.බී.නාවින්න ඇමතිවරයා සිය පක්ෂයට එක් වූ බව කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් තහවුරු කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විශාල ධනයක් කැප කළ තමා ඉදිරි කාලයෙහි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් පවසයි.