අර්ජුනත් එජාපයට?

Image copyright AFP
Image caption 'මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමත් ආවොත් අපි කොහොමද එළියට ගිහින් කියන්නේ මේ වගේ දූෂිතයොත් එක්ක අපි නැවත වරක් දේශපාලනය කරනවා කියලා'

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයකින් තරඟ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග විරෝධය පළ කර සිටියි.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හෝ ‘මහින්ද විරෝධී’ වෙනත් පෙරමුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ එම පක්ෂ අතර මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

තමා වෙනත් පක්ෂයකින් හෝ පෙරමුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟද සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා බීබීසීට කියා සිටියේය.

‘මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමත් ආවොත් අපි කොහොමද එළියට ගිහින් කියන්නේ මේ වගේ දූෂිතයොත් එක්ක අපි නැවත වරක් දේශපාලනය කරනවා කියලා’ අමාත්‍යවරයා මීට ඉහතදී බීබීසීයට පැවසුවේය.

යම් හෙයකින් හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරීමට නාම යෝජනා ලබා දුනහොත් තමන් තවදුරටත් පක්ෂයේ රැඳී සිටින්නේ දැයි යන්න පිළිබඳ දැඩි තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවත් ඔහු එම සාකච්ඡාවේදී සඳහන් කළේය.

‘මොකද මම මේ රටට ආදරය කරන පුද්ගලයෙක්. මේ රටේ මිනිස්සු හැමදාම මා ගැන ලොකු බලාපොරොත්තු තිබ්බා. ඒවගේම මා ගැන විශ්වාශයක් තිබ්බා. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක පරණ ක්‍රමවේදයට යන්න වෙන්නේ. එහෙම කරන්න මට හයියක් නැහැ’ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර