මුනිවත බිඳින්න - පුරවැසි බලය ජනපතිගෙන් ඉල්ලයි

Image caption ලක්ෂ 62 ක ජනතාව ඡන්දය භාවිතා කළේ 'මහින්ද විරෝධී ස්ථාවරය නිසා'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ එක්ව දේශපාලනයේ නිරත වන්නේද, නැද්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉක්මනින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බව පුරවැසි බලය සංවිධානය පවසයි.

මහින්ද රාජපක්ෂ විරෝධී ජනතා ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයා ඔහුගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ම හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා දීමට එකඟ වී ඇති බවට පළවන පුවත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයක් නොකිරීම හේතුවෙන් රටම අවුල් සහගත තත්වයකට පත්ව ඇති බවත් පුරවැසි බලය සංවිධානය පවසයි.

එහි කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ ඒ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කිරීම සඳහා පෙනී සිටි සිවිල් සංවිධාන එකමුතුව කැඳවා තිබුණු මාධ්‍ය හමුවකදී.

ලක්ෂ 62 ක ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් ඡන්දය භාවිතා කළේ ඔහුගේ 40 වසරක දේශපාලන ඉතිහාසය නිසා නොව, මහින්ද විරෝධී ස්ථාවරය නිසා බවයි, පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙන්නේ.

'වගකීමක් සහ සදාචාරයක්'

ජනවාරි 8 වැනිදා ජනතාව තමන්ට ලබාදුන් ජනවරමට ගරු කිරීමට ජනාධිපතිවරයාට වගකීමක් හා සදාචාරයක් තිබිය යුතු බවද ඔහු පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ එක්වීමට යන බවට පළවන වාර්තා හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව දැඩි ජනතා විරෝධයක් ගොඩනැගෙමින් පවතින බව වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුව අමතමින් පැවසීය.

මේ පිළිබඳව ජනතාව අමතා ප්‍රකාශයක් කරන මෙන් සමන් රත්නප්‍රියද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

හිටපු ජනධිපතිවරයාට නාමයෝජනා ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරුණු විමසුවේ නැද්ද යන්න මාධ්‍යවේදියකු සමන් රත්නප්රියට මතු කළ ප්‍රශ්නයක්.

"විමසුවා විතරක් නෙවෙයි අපි වාඩිවෙලා කතා කළා. නමුත් මොනවාද වෙන්නේ කියලා අපිට නිශ්චිත නැහැ. විශ්වාසය පිළිබඳව බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි ඔහුට කියන්නේ ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඔහු මහින්ද රාජපක්ෂ සමග හිටගන්නවාද, නැද්ද කියල," ඔහු පැවසීය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන තුරු රටම බලාසිටින බව සමන් රත්නප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර