විනිසුරු ආබෘට එරෙහිව ගෘහ සේවිකා උද්ඝෝෂණයක්

Image copyright bbc

සිය නිවසේ මෙහෙකාරියට පහර දුන් බවට චෝදනා ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ අත්අඩංගුවට ගෙන ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් රජයට බල කිරීම සඳහා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට දියත් කෙරුණ නිහඬ විරෝධතා ව්‍යාපාරයට ගෘහ සේවිකාවෝ රැසක් සහභාගි වෙමින් සිටියහ.

එම නිහඬ විරෝධතා ව්‍යාපාරය කැඳවා තිබුණේ ශ්‍රී ලංකා ගෘහ සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන් විසිනි.

විරෝධතා ව්‍යාපාරය අතරවාරයේ ප්‍රකාශයක් කළ එම සංගමයේ සභාපතිනි සත්‍යවානි සරසුගෝපාල් කියා සිටියේ, සිය නිවසේ මෙහෙකාරියට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විනිසුරු සරත් ආබෘ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය පියවර ගත යුතු බවයි.

එමෙන්ම ගෘහස්ථ කම්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ වැඩ පිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකා ගෘහ සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ විරෝධතා ව්‍යාපාරයට සහාය දීමට සහභාගි වූ සත්‍යවේල් පියතුමා කියා සිටියේ චෝදනා එල්ල වී ඇති විනිසුරු සරත් ආබෘ සඳුදා දිනයේත් අධිකරණය තුළ නඩු ඇසීමේ කටයුතු වල නිරත වෙමින් සිටීම අනුමත කළ නොහැකි බවයි.

Image copyright bbc

ඉහත කී විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන කාලය තුළ අළුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව තර කර තිබුණි.

මූලික අයිතිවාසිකම් කඩවීමක් ?

විනිසුරු සරත් ආබෘට එරෙහිව චෝදනා කිරීම තුලින් ඔහුගේ මූලික හිමිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ඔහුගේ පාර්ශ්වයෙන් මේ අතර මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

එම පැමිණිල්ල ඉදිරිපත් කරන නීතිවේදී නිමල් මුතුකුමාරණ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් තම සේවාදායකයාට එරෙහිව ප්‍රහාරයක් ආරම්භ කර ඇති අතර එමගින් ඔහුගේ මූලික හිමිකම් කඩ වී ඇති බවයි.

විනිසුරු සරත් ආබෘට එරෙහිව මේ වන විට ගල්කිස්ස අධිකරණයේ විභාග කෙරෙමින් පවතින නඩු විභාගය සාධාරණ මට්ටමින් පැවැත්විය යුතු බවත් නීතිවේදී නිමල් මුතුකුමාරණ පවසයි.