ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඩිව් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩලා - රනිල්

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් තමන්ගේ ලියවිල්ලක් පාර්ලිමේන්තුවේ වාර්තාවක් ලෙස ඉදිරිපත් කරමින් වංචාවක් සිදු කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ චෝදනා කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මේ ආකාරයෙන් ක්‍රියා කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් නිසා ඒ සම්බන්ධයෙන් කථානායකවරයාට හා පාර්ලිමේන්තු මහලේකම්වරයාට පැමිණිලි කළ බවයි අගමැති වරයා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ.

වරප්‍රසාද

මෙවන් ලියවිල්ලක් පාර්ලිමේන්තුවේ නිල වාර්තාවක් ලෙස පළ කරමින් මාධ්‍ය ආයතනද පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන උල්ලංඝනය කර තිබෙන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර කටයුතු කළ ආකාරය පිළිගත නොහැකි බව පැවසූ අගමැතිවරයා මෙම පරීක්ෂණය තුළින් ඔහු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළ බවට තමන් චෝදනා කරන බවද පැවසුවේය.

Image copyright BBC World Service

වැඩිදුර පරීක්‍ෂණ

මෙම ගණුදෙනුව ඇතුළු මහ බැංකුවේ සිදුවූ අනිකුත් වංචා පිළිබඳව සොයා බැලීමට ඉදිරි පාර්ලිමේන්තුවේ පළමු මාස තුන ඇතුළත තේරීම් කාරක සභාවක් පත් කර වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන බවද අගමැතිවරයා මෙහිදී පැවසුවේය.

අගමැතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය ආවරණය කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටි අතර ඔවුන් බොහෝ දෙනා බලාපොරොත්තු වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණයක් සමග ඇතිව තිබෙන දේශපාලන ව්‍යාකූලතාව පිළිබඳව අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි.

කෙසේ නමුත් අගමැතිවරයා මෙම අවස්ථාව යොදා ගත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අවාසි දායක විය හැකි කාරණාවක් වන මහා බැංකු බැදුම්කර වංචාව ගැන කරුණු පැහැදිලි කර දීමටයි.