සිරිලිය සවියට 'බදු ගෙවන්න මුදල් නෑ'

Image copyright Getty
Image caption සිරිලිය සවිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් පුණ්‍යායතනයකි

ලෝක ආහාර සංවිධානය විසින් සිරිලිය සවිය පුණ්‍යායතනයට ප්‍රදානය කළ සුඛෝපභෝගී වාහන දෙක වෙනුවෙන් බදු ගෙවීමට මුදල් නොමැති බැවින් එම වාහන අත්හැර දමා තිබුණු බව ශිරන්ති රාජපක්ෂ ගේ ප්‍රකාශකයා පවසයි.

සිරිලිය සවිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් පුණ්‍යායතනයකි.

එම පුණ්‍යායතනයට ප්‍රදානය කරන ලද අදාළ වාහන දෙක වෙනුවෙන් තීරුබදු නොගෙවීම පිළිබඳව ලෝක ආහාර සංවිධානයට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය නිවේදනය කළේය.

සුනාමි ව්‍යසනය

එක්සත් ජාතීන්ගේ ප්‍රයෝජනය පිණිස ගෙන්වන ලද වාහන වෙනත් ආයතනයකට ලබා දුන්නේ නම් ඒ සඳහා තීරු බදු ගෙවිය යුතුව තිබුණු බව පවසන පොලිස් බලධාරීන් කිසිදු පාර්ශවයක් එම බදු ගෙවා නැති බවත් ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබුණි.

සුනාමි ව්‍යසනය අවස්ථාවේ ලෝක ආහාර සංවිධානය විසින් ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන 29 න් දෙකක් සිරිලිය සවියට ප්‍රදානය කරන ලද බවයි, ශිරන්ති රාජපක්ෂගේ ප්‍රකාශක රොහාන් වැලිවිට බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

"මේ වාහන 29 ම රජයේ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවලට දීල තියෙනව. සිරිලිය සවියටත් දුන්න දෙකක්," ඔහු පැවසීය.

ඉන් අනතුරුව එම වාහන දෙක ලියාපදිංචි කිරීම සඳහා ලක්ෂ 80 ක බද්දක් ගෙවීමට සිරිලිය සවියට හැකියාවක් නොතිබුණු බැවින් පුණ්‍යායතනය අදාළ වාහන භාවිත නොකළ බවයි රොහාන් වැලිවිට පවසන්නේ.

එවකට රටේ නායකයා වූ සිය ස්වාමිපුරුෂයා මගින් ඒ සඳහා බදු සහන ලබාගැනීමේ හැකියාවක් තිබුණත් ජනපති බිරිඳ එවැනි කිසිදු උත්සාහයක් නොදැරූ බවත් ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන් වෙනුවෙන් ගෙන්වන ලද වාහන භාවිත නොකොට පසෙකට දැමීමත් අපරාධයක් නොවේ දැයි බීබීසී සංදේශය විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එය සත්‍යයක් නමුත් මුදල් ලැබුන විට ලියාපදිංචි කිරීමට පුණ්‍යායතනය බලාපොරොත්තු වූ බවයි.

පරීක්ෂණය පිලිබඳ වැඩි විස්තර විමසීම පිණිස පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර