මහේස්ත්‍රාත් සරත් ආබෘට පක්‍ෂග්‍රාහී වෙලා -නීතිපති

Image copyright bbc
Image caption සරත් ආබෘ විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නා මෙන් බල කරමින් පසුගියදා පැවති උද්ඝෝෂණයක්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ සම්බන්ධයෙන් ඊයේ නිකුත් කල නියෝගවලදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා පක්ෂග්‍රාහී ආකාරයට කටයුතු කර ඇති බව නීතිපතිවරයා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කළේය.

තමන්ට එරෙහිව සිදු කරන පොලිස් පරීක්ෂණ අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සරත් ආබෘ විනිසුරුවරයා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය.

මෙවැනි ක්‍රියා කලාපයන් නිසා අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රබලයින්ට වෙනම නීතියක් තිබේදැයි යන සැකය මහජනයා තුළ මතු විය හැකි බවත් රජයේ නීතිවේදියා පවසයි.

Image copyright bbc

'අසාධාරණයක්'

එම චෝදනා ප්‍රතික්ෂේප කළ සරත් ආබෘ විනිසුරුවරයාගේ නීතිවේදියා කියා සිටියේ මෙම සිද්ධියේ දී නීතිපතිවරයා තමන්ට අසාධාරණයක් වන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් රජයේ නීතිවේදියාගේ ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු ගොනුව කැඳවීමට පියවර ගන්නා මෙන් එහි ලේඛකාධිකාරිවරයාට නියම කළේය.

Image copyright bbc
Image caption විරෝධතා සංවිධානය කර තිබුණේ ගෘහස්ත කම්කරු සංගමයයි

කාන්තාව

මෙහිදී සරත් ආබෘ විනිසුරුවරයාගේ පහර කෑමට ලක් වූ බවට චෝදනා කරන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේ තම සේවා දායිකාව නඩුවේ වග උත්තරකාරියක ලෙස නම් කර නොමැති අතර ඇයට ද නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි.

මෙහි දී විනිසුරුවරයා කියා සිටියේ මෙය මහජන අවධානයට පාත්‍ර වන නඩුවක් බැවින් එය පුළුල් විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනීම සුදුසු බවයි.

ඒ අනුව පෙත්සම ලබන 14 වන දා කැඳවීමට නියම කළ අධිකරණය එදින පෙත්සම සලකා බැලීම සඳහා සුදුසු විනිසුරු මඬුල්ලක් නම් කරන මෙන් අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේය.