ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මෛත්‍රී-මහින්ද පාලනයකට ජනතා අභිමතයක් නැහැ'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් තමා පෞද්ගලික මට්ටමින් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (08) ප්‍රකාශ කළ බව පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය දුන් තමන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් ඊයේ ඔහු හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයා තමන්ට ඒ බව දැනුම් දුන් බවයි.

හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දීමට තමා විරුද්ධ නමුත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තමන්ට බලයක් නොමැති බව ජනාධිපතිවරයා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ පැවසූ බවයි සමන් රත්නප්‍රිය පවසන්නේ.

එහෙත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට නාම යෝජනා ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ නිශ්චිතව කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් සමන් රත්නප්‍රිය පවසයි.