‘මහින්ද නාම යෝජනා අත්සන් කරයි’-විමල් වීරවංශ

Image copyright AFP

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනාවලට අත්සන් තැබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

හිටපු මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ අද (09)නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඔහු තවදුරටත් කියා සිටියේ නාම යෝජනා සම්බන්ධයෙන් පැන නැග තිබුණු ගැටළු සියල්ල සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි වූ බවයි.

අගෝස්තු 18 වැනිදා සිට මහින්ද- මෛත්‍රී ස්වර්ණමය යුගය ආරම්භ වෙන බව සඳහන් කළ විමල් විරවංශ හිටපු ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂය දැනටමත් පරාජය වී අවසන් බවයි කියා සිටියේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනිකුත් අපේක්ෂකයන් ද අද (09) දින කොළඹ දී නාම යෝජනා අත්සන් කිරීම ආරම්භ කළ බවත් ඔහු පවසයි.

බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ප්‍රසන්න රණතුංගට ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබා දීමට පක්ෂය එකග වී ඇති බවයි විමල් වීරවංශ පවසන්නේ.

ඊයේ මාධ්‍ය වාර්තා මගින් පැවසුණේ රණතුංග පවුලේ අර්ජුන රණතුංගට හා රුවන් රණතුංගට නාම යෝජනා ලබා දීම නිසා ප්‍රසන්න රණතුංගට නාම යෝජනා ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇති බවයි.

පුරවැසි සංවිධාන

එහෙත් මේ අතර පුරවැසි සංවිධාන මගින් කැඳවන ලද තවත් මාධ්‍ය හමුවක දී වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් තමා පෞද්ගලික මට්ටමින් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (08) ප්‍රකාශ කළ බවයි.

Image caption සිවිල් සමාජ ක්‍රියාධරයන් කණ්ඩායමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය දුන් තමන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් ඊයේ ඔහු හමු වූ බවයි සමන් රත්නප්‍රිය පවසන්නේ.

හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දීමට තමා විරුද්ධ නමුත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තමන්ට බලයක් නොමැති බව ජනාධිපතිවරයා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ පැවසූ බවයි සමන් රත්නප්‍රිය පවසන්නේ.

මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ නිශ්චිතව කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් සමන් රත්නප්‍රිය පවසයි.