යහ පාලන පෙරමුණට නාම යෝජනා පොරොන්දු

Image caption රාජිත සේනාරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් සහ වමේ කොටස් රැසක් සමගින් පිහිටුවා ගත් යහ පාලන පෙරමුණට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් පක්ෂයෙන් නාම යෝජනා දොළහක් හෝ දහතුනක් ලබා දීමට පොරොන්දු වී ඇතැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසි සංදේශයට යට කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තම අපේක්ෂකයින් ඉදිරිපත්වෙන අතර මැතිවරණයෙන් අනතුරුව යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ දේශපාලන පක්ෂයයක් ලෙස ලියාපදිංචි කෙරෙන බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

පුළුල් පෙරමුණක්

මාදුළුවාවේ සෝභිත නා හිමියන් ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන එකතුව, අතුරලියේ රතන ස්වාමින්වහන්සේ ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන පිවිතුරු හෙටක් සහ සම සමාජ ,කොමියුනිස්ට් පක්ෂ වල විකල්ප කණ්ඩායම ඇතුළු කණ්ඩායම් රැසක් තමන් හා එක්ව සිටින බවයි සේනාරත්න ඇමතිවරයා කියා සිටින්නේ.

කොළඹ,කළුතර,ගම්පහ,මහනුවර,රත්නපුර,ගාල්ල,මාතලේ යන දිස්ත්‍රික්ක වලින් තම අපේක්ෂකයින් ඉදිරිපත් කරන බව රාජිත සේනාරත්න පැවසීය.

ජනාධිපතිවරයා හමුවී

යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කරන ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් පිළිබඳව විමසු විට රාජිත සේනාරත්න කියා සිටියේ චම්පික රණවක,අර්ජුන රණතුංග, එම්කේ ඩී එස් ගුණවර්ධන යන ඇමතිවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමින්වහන්සේ තම පෙරමුණ හරහා නාම යෝජනා ලැබීමට නියමිතව සිටින බවයි.

මෙම නව පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ආශීර්වාදය සහ සහයෝගය ලැබෙන්නේ දැයි විමසු විට,තමන් ඊයේ(සිකුරාදා) රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී ඔහුව මෙම වැඩ පිළිවෙල පිළිබඳව දැනුවත් කළ බව පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණය පිළිබඳව දක්වන ස්ථාවරය නාමයෝජනා භාර ගැනීම අවසන් වන ජුලි දහතුන්වෙනිදා හෝ එයින් පසුව ප්‍රකාශයට පත් කරන බවතමන්ට කියාසිටී බව රාජිත සේනාරත්න ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.