රනිල් ගෙන් පංච මහා සැලැස්මක්

unp party convention Image copyright unp
Image caption එක්සත් ජාතික පක්ෂ සම්මේලනය

ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුව සෙසු පක්ෂද සහභාගී කරගෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මමත කර ගැනීමට කටයුතු කරන බව කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ මහ සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙම නව ව්‍යවස්ථාව තුලින් ඒකීය රටක් තුළ බලය බෙදීමට කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ බලතල ආරක්ෂා කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන බවත් අගමැතිවරයා පැවසීය.

එක්සත් පෙරමුණක්

එක්සත් ජාතික පක්ෂය තනිවම මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සිතා ගෙන සිටියත් රාජපක්ෂ රෙජීමය යළිත් හිස එසවීමට තැත් කළ හෙයින් සෙසු පක්ෂ එකතු කර ගනිමින් එක්සත් පෙරමුණක් පිහිටුවා ගැනීමට අදහස් කළ බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

සෙසු පක්ෂ හා පෙරමුණක් ලෙසින් තරඟ කළත් පාර්ලිමේන්තුවේ දී වෙනමම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ හැකියාව තමන් හා එක් වෙන සෙසු පක්ෂ වලට ඇති බව රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

මේ මැතිවරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවට පංච මහා සැලැස්මක් ඉදිරිපත් කෙරෙන අතර ඒ යටතේ ආර්ථික ප්‍රදේශ හතළිස් අටක් පිහිටුවන බව අගමැතිවරයා කියා සිටියේය.