ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට අධිකරණයෙන් තහංචි

Image copyright Prasanna Solangaarachchi
Image caption ප්‍රසන්න සෝලංගආරච්චි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව කැඳවීම වළක්වා ලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි, එම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

එම වාරණ නියෝගය ලබන 29 වෙනි දින තෙක් බල පැවැත්වෙයි.

පෙත්සම් කරු කියා සිටින්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට බලය පැවරී ඇත්තේ එම පක්ෂයේ සභාපති වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පමණක් බවයි.

එවැනි තත්වයක් තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (15) කැඳවීමට පක්ෂ ලේකම්වරයා කටයුතු කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් වන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි පෙන්වා දෙන්නේ.

මහලේකම් ප්‍රකාශය

Image caption අනුර ප්‍රියදර්ශන යාපා

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය, පක්ෂ සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවනු ලැබීම ලබන 29 වන දා තෙක් බල පැවැත්වෙන පරිදි වළකා ලමින් අදාළ වාරණ නියෝගය නිකුත් කර ඇත.

අද (15) කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ මධ්‍යම කාරක සභිකයන් තුනෙන් දෙකක අත්සනින් කාරක සභා රැස්වීමක් කැඳවන මෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවයි.