සන්ධානය මෛත්‍රී ප්‍රකාශය නොතකයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික මැතිවරණ කමිටුවේ සභාපතිවරයා හැටියට කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ පත් කිරීමට දේශපාලන පක්ෂ පහළොවක නායකයෝ තීන්දු කළහ.

බීබීසී සංදේශය කළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ දේශපාලන පක්ෂ පහළොවක් මගින් ගනු ලැබුණ තීන්දුව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර එම මැතිවරණ කමිටුවේ මෙහෙයුම් අද (15) පටන් ආරම්භ කෙරුණ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවක දී සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අදහස් දක්වමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ (14) කරන ලද විශේෂ ප්‍රකාශය විග්‍රහ කළේ ‘සන්ධානය ලද වෙස්වලා ගත් ආශීර්වාදයක්’ හැටියටයි.

නව අගමැති පත් කිරීම

එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සිය පක්ෂයේ මධ්‍යම කාරක සභා සභිකයන් තුනෙන් එකක අත්සන් සහිත ලිපියක් මගින් හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවන මෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව කියා සිටියේය.

එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ප්‍රකාශ කෙරුණි.

මේ අතර මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා සන්ධානයේ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම අදහස් දක්වමින් සඳහන් කළේ ‘මහ මැතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කරනු ලැබීම සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයේ සහයෝගය පදනම් කර ගෙන’ වන බවයි.