උතුරේ විශේෂ සහන ව්‍යාපෘතියක්

Image caption අත්රුදහන්වූවන් ගේ ඥාතීන් ජනාධිපති කොමිසම හමුවේ

උතුරේ දේශපාලන සිරකරුවන්ගේ පවුල් වල ඥාතීන්ට සහ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට මිය ගිය සාමාජිකයින්ගේ පවුල් වලට ආධාර කිරීම සදහා විශේෂ සහන ව්‍යාපෘතියක් ආරම්භ වෙයි.

රුපියල් මිලියන 46 ක වියදමකින් එම ව්‍යාපෘතිය උතුරු පළාත් සභාව විසින් ආරම්භ කළ බව පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.ඩෙනීස්වරන් පැවසුවේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පසුව පුනරුත්ථාපනය වූ සාමාජිකයින්ටද සහන ලබා ගැනීමට හැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.

මේ යටතේ සහන සලසා සැලසීමට තෝරාගන්නා පවුල් වලට ස්වයං රැකියා ආරම්භ කිරීමට මුදල් ප්‍රතිපාදනද, අවශ්‍ය උපකරණ හා යන්ත්‍ර සූත්‍ර මිලට ගැනීමට ප්‍රතිපාදනද පළාත් සභාවෙන් ලැබෙන අතර තාක්ෂණ දැණුමද ලබා දෙන බව ඩෙනීස්වරන් අමාත්‍යවරයා සදහන් කළේය.

පසුගිය වසරේදී මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කොට ඒ පිළිබදව ජනතාව දැණුවත් කිරීමෙන් පසුව උතුරේ වැසියන්ගෙන් ඉල්ලුම්පත් 12676 ක් ලැබුණු බව කී අමාත්‍යවරයා 16 දා එම ඉල්ලුම්පත් එවන ලද පුද්ගලයින් කණඩායම් වශයෙන් කැදවීම ආරම්භ කළ බවද පැවසුවේය.

ලැබුණු ඉල්ලුම් පත්වලින් 6322 දෙදෙනෙක් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගෙන්ද, 6030 ක් මියගිය සාමාජිකයින්ගේ පවුල් වලින්ද, 324 දේශපාලන සිරකරුවන්ගේ පවුල් වලින්ද ලැබී ඇති බව කී ඩෙනීස්වරන් ඇමතිවරයා මෙතෙක් ඔවුන්ට සහන සැලසීම ප්‍රමාද වූයේ ඊට මුදල් නොතිබීම නිසා යැයිද පෙන්වා දුන්නේය.

විදේශ රටවලින් ලද මුදල් වලින්ද, ස්වේච්ඡා සංවිධාන වලින් ලද මුදල්ද, පුද්ගලයින් කිරීම පිණිස රජයෙන් ලබාදුන් මුදල් වලින් කොටසක්ද යොදවා ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් සපයා ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.