අගමැති ධූරය: 'අවසන් තීරණය ජනපති අතේ'

ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කළ හැකි බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් බොරු තර්ක ගොඩනගමින් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ඔවුන් නොදන්නා බවයි ඇමතිවරයා පවසන්නේ.

‘ඒගොල්ලන්ට ලංකාවේ ව්‍යවස්ථාව කියවලා එන්න කියන්න, ඒකවත් දන්නේ නැති අයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නේ.’

‘ලංකාවේ කොහෙද මන්ත්‍රීවරු තීරණය කරලා අගමැතිවරු පත් කරන්නේ, ඒක තියෙන්නේ ජනාධිපති බලතල යටතේ’ අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් යමෙකුට එය ඉල්ලුම් කළ හැකි වුවත් එහි අවසන් තීරණය ඇත්තේ ජනාධිපතිවරයා අත බවයි ඔහු පවසන්නේ.

Image copyright Getty

ජාතික ආණ්ඩුවක්

අගමැතිවරයා පමණක් නොව සියළු කැබිනට් ඇමතිවරුන් ද පත් කරන්නේ ජනාධිපතිවරයා බවත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රට තුළ බිහි වන්නේ ජාතික ආණ්ඩුවක්ම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා තම පක්ෂය ජයග්‍රහණය කිරීමට කටයුතු නොකිරීම එතුමන් පාක්ෂිකයින්ට කරන අසාධාරණයක් නොවේදැයි විමසුවිට අමාත්‍යවරයා පෙරළා ප්‍රශ්න කළේ ‘ඔබලාට අවශ්‍ය පක්ෂය ජයග්‍රහණය කිරීමද රට ජයග්‍රහණය කිරීමටද?’ යන්නයි.