මහින්දගේ කතාවෙන් කරුණු දොළහක්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තමා වසර හතරක් ඇතුළත ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රටේ සංවර්ධනය ආපස්සට හැරවීමට නව පාලනයට ගත වූයේ දින සියයක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ‘‘රටට පණ දෙමු - අලුතින් පටන් ගමු’’ යන තේමාව යටතේ අනුරාධපුර පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළිය අමතමින්.

මෙම රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ ප්‍රධාන කරුණු දොළහක් මෙසේයි.

1. විදේශ බලවේග ඉදිරියේ දණ නොනැමූ නිසා තමන්ට බලය අහිමි වූ බව.

2. සතොස 'කාබාසිනියා' කර ඇති බව සහ 'මෙගා ඩීල් කරුවන්' එජාප ලයිස්තුවේ සිටින බව.

3. තමා සුරා බලපත් හෝ කැසිනෝ බලපත් නොදුන් අතර එජාපය සුරා බලපත් තුන්සියයක් ලබා දී ඇති බව.

4. අද රට මත් ද්‍රව්‍ය වලින් පිරී ඇති බව සහ පාසැල් දරුවන්ට පවා මත් ද්‍රව්‍ය දීමට ඉඩ දී ඇති බව.

5. තමා වසර හතරක් ඇතුළත ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රටේ සංවර්ධනය ආපස්සට හැරවීමට නව පාලනයට ගත වූයේ දින සියයක් පමණක් බව.

6. වී, රබර් සහ කිරි ගොවියා මෙන්ම තේ වතු හිමියන්ද අසරණ කර ඇති බව.

7. අසූව දශකයේ දී කොටි ත්‍රස්තවාදය හිස ඔසවමින් සිටින විට තිබුණු තත්වයම අද උතුරේ පවතින බව.

8. නව පාලනය සරසවි සිසුන්ට පහර දී 'ඔලු පලා' හිර ගෙවල්වල දැමූ බව.

9. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවක් රනිල් වික්‍රමසිංහට ඡන්දය දී ඇති බව.

10. බැඳුම්කර වංචාවෙන් රජයට අහිමි වූ මුදල් වලින් තවත් අධිවේගී මාර්ග දෙක තුනක් තැනීමට හැකියාව තිබුණු බව.

11. තමන්ට නාම යෝජනා ලබා නොදෙන මෙන් ඉල්ලා දියත් වූ බලවේගයන්ට විදේශ තානාපති කාර්යාල ද විශාල ලෙස උදව් කර ඇති බව.

12. ඖෂධ පනත සම්මත වුවත් බෙහෙත් පෙත්තක මිල අඩු වී නැති බව.

ජනාධිපතිට පිළිතුරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක් කළ අතර ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ මැතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂට සිය සහයෝගය හිමි නොවන බවයි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අදහස් විමසූ විට ඔහු මාධ්‍යයට පැවසුවේ අනුරාධපුරයේ රැළියේදී තමා එම ප්‍රකාශ වලට පිළිතුරු සැපයීමට බලාපොරොත්තු වන බවයි.

නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිලිබඳ කිසිවක් හිටපු ජනාධිපතිවරයා අද සඳහන් නොකිරීම විශේෂත්වයකි.

බලාපොරොත්තු නොවූ පියවරක්

මෙම රැළියට සහභාගි වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය දරන අමාත්‍ය දුමින්ද දිසානායක ද සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා කටයුතු කළ අයෙක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළියේ වේදිකාව අසල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකදු ඡායාරුපයක් හෝ ප්‍රදර්ශනය කර නොතිබීම ද මාධ්‍යවේදීන්ගේ අවධානයට ලක්වී තිබේ.

පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා විසින් සිදු කළ කතාව නැවත නැවතත් රාජ්‍ය මාධ්‍යය විසින් ප්‍රචාරය කිරීම මගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින අපේක්ෂකයින්ට විශාල අසාධාරණයක් සිදු වන බවයි මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය චෝදනා කරන්නේ.

එය සැලකිල්ලට ගත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරයාගේ විශේෂ කතාව නැවත ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස සියලු විද්‍යුත් මාධ්‍යයන්ට උපදෙස් දී ඇත.