යහපාලනය බ්‍රිතාන්‍ය ඇසින්

Image copyright PA
Image caption ජනාධිපති සිරිසේන බකිංහැම් මාලිගයේ.

ඇතැම් අංශ වල ප්‍රගතියක් නැතත් 2015 වසරේ පළමු හය මාසය ඇතුළත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය පවසයි. ජූලි මස 15 වෙනි දින නිකුත් කරනු ලැබ ඇති වාර්තාවක් මගින් එම කාර්යාලය කියා සිටින්නේ, ජනවාරි මස අට වෙනි දින බලයට පත් මෛත්‍රීපාල සිරිසේන පාලනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් තත්වය සහතික කිරීම අතින් පලදායී පියවර ගණනාවක් ගෙන ඇති බවයි.

අදහස් පළ කිරීමේ නිදහස සඳහා වැඩි ඉඩ ප්‍රස්තා සැලසූ නව පාලනය කලින් බලධාරීන් විසින් තහනම් කරනු ලැබ තිබුණ අන්තර්ජාල වෙබ් අඩවි ගණනාවකට යලි ක්‍රියාත්මක වීමට අවසර දුන් අතර තර්ජන හේතුවෙන් විදේශගත වී සිටි මාධ්‍යවේදීන්ට යළි සියරට පැමිණෙන මෙන් ඇරයුම් කළ බවයි බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය පෙන්වා දෙන්නේ.

වාරණය අවසන්

Image caption ජනාධිපති සිරිසේන සහ අගමැති කැමරන්

පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය නොවන සංවිධාන ආරක්ෂක අමාත්‍යංශයේ පාලනය යටතේ තබා තිබුණත් නව ආණ්ඩුව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ඉන් ඉවත් කොට ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සැලසුම් කරණය භාර අමාත්‍යාංශය යටතට පත් කළ බවත් ඉහත කී වාර්තාව සඳහන් කරයි.

උතුරු සහ නැගෙනහිර පලාත්වල ආරක්ෂක හමුදාවන් විසින් පවත්වා ගෙන යමින් තිබුණ දැඩි අධීක්ෂණයේ සුවිශේෂී අඩුවක් දක්නට ලැබෙන අතරවාරයේ මාධ්‍ය සහ සිවිල් සමාජමය කාර්ය සඳහා පවතින අවකාශයේ පුළුල් කිරීමක් ද සිදු වී ඇති බවයි බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකාවේ 67 වෙනි නිදහස් දින සමරු රැළියේ දී කියවන ලද සාමය සඳහා වූ විශේෂ ප්‍රකාශනය පිළිබඳවත් එම වාර්තාව සඳහන් කරයි.

නිසි පරීක්ෂණ සිදු නොකෙරුණ පසුගිය රජය අවධියේ සිදු කෙරුණ ප්‍රසිද්ධ පුද්ගල ඝාතන සහ අතුරුදහන් කිරීම් ගැන අවධානය යොමු කරන බ්‍රිතාන්‍ය වාර්තාව පවසන්නේ වත්මන් පාලනය ඒ සම්බන්ධයෙන් යළි විභාග ආරම්භ කර ඇති බවයි.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් එහි විශේෂයෙන් සඳහන් කරනු ලැබ ඇත.

19 වෙනි සංශෝධනය

Image copyright president media unit
Image caption වාර්ගික සහජීවනය

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සඳහන් කරන ඉහත කී වාර්තාව එය විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ ‘විධායක ජනාධිපති පදවියේ බලතල සීමා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආයතන යළි ස්ථාපනය කිරීමක්’ හැටියටයි.

එසේ වුවද, ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහතික කරන බවට නව පාලනය දී තිබුණ ප්‍රතිඥා ජුනි 26 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට පෙර ඉටු නොවූ බවයි බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය පෙන්වා දෙන්නේ.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ද ගායනා කරනු ලැබීමේ දී අනියමින් බල පැවැත්වුන තහංචි වත්මන් පාලනය යටතේ කෙළවර වූ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ බලතල අනුව චෝදනා නොමැතිව සිර භාරයේ තබා සිටි නව දෙනකු ඇප මත මුදා හරිනු ලැබ ඇති බවත් බ්‍රිතාන්‍ය වාර්තාව සඳහන් කරයි.

රහසිගත රැඳවුම් මධ්‍යස්ථාන ගැන දෙමළ ක්‍රියාධරයන් සහ දේශපාලනඥයන් චෝදනා කරන නමුත් ශ්‍රී ලංකාවේ බලධාරීන් එම චෝදනා බැහැර කරන බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

වාර්ගික සහ ආගමික පීඩනය

Image copyright AFP
Image caption ඉල්ලීමක්- 'සොයා දෙන්න'

ශ්‍රී ලංකාවේ සුළු ජන සහ සුළු ආගමික කොටස් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ප්‍රචණ්ඩ ප්‍රහාර 2014 වසරට සාපේක්‍ෂව 2015 වසරේ අඩු වී ඇති බවත් එම වාර්තාව පවසයි.

එහෙත් වධහිංසා සහ නීතියට පටහැනිව සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතන සිදු කිරීම අතින් රට තුළ තවමත් මැසිවිලි පළ වෙමින් පවතින බව පවසන බ්‍රිතාන්‍ය වාර්තාව පසුගිය මාස කීපය ඇතුළත් පොලිසියේ පහර දීම මගින් සිදු කෙරුණ මනුෂ්‍ය ඝාතන දෙකක් ගැන සඳහන් කරයි.

ජාත්‍යන්තර ප්‍රතිචාරය

කලින් රජය ජාත්‍යන්තර සංවිධාන සමඟ කටයුතු කිරීම අතින් පසුගාමී වුවද, නව පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, කල් දීමක් වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සාකච්ඡාවට ගනු ලැබීම 2015 සැප්තැම්බර් සැසි වාරය තෙක් කල් තැබීමට මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන් විසින් කරන ලද නිර්දේශය ගැනත් බ්‍රිතාන්‍ය වාර්තාවේ දැක්වෙයි.

පසුගිය මාර්තු මාසයේ බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පශ්චාත් යුද සිදුවීම් පිළිබඳව විපරම් කිරීම සඳහා අභ්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීම ගැන ප්‍රකාශයක් කළ බව සඳහන් කරන ඉහත කී වාර්තාව ශ්‍රී ලංකාවේ නව පාලනය විසින් තබන ලද ආරම්භක පියවර අගමැති ඩේවිඩ් කැමරන්ගේ අගය කිරීමට ලක් වූ බවයි පවසන්නේ.

Image copyright Sudath Silva
Image caption බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු භාර ඇමති හියුගෝ ස්ව්යර් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා සමඟ.

එම සංචාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් විය.

මෛත්‍රීපාල සිරිසේන පාලනය යටතේ උතුරු සහ නැගෙනහිර පළාත් වලට සිවිල් ආණ්ඩුකාරවරුන් පත් කරනු ලැබීම සහ අවතැන් වූ ජනයාට ඔවුන්ගේ ඉඩම් ආපසු පැවරීමත් බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය විසින් අගය කරනු ලැබ ඇත.