'පැමිණිලි 43යි අත්අඩංගුවට ගැනීම් පනස් හතරයි'- පොලිසිය

Image copyright Sri Lankan Police
Image caption පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දින පටන් අද සෙනසුරාදා (ජූලි18) වන විට මැතිවරණ පැමිණිලි හතළිස් තුනක් ලැබී ඇති ඇතැයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධීන් සහ බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධීන් ආදී පැමිණිලි ඒ අතර ඇති බවයි, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ.

ඊට අමතරව එම පැමිණිලි හතළිස් තුන අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කරනු ලැබීම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම් ද ඇති බවත් ඔහු සඳහන් කරයි.

Image copyright AFP
Image caption පෝස්ටර් ප්‍රදර්ශනය

‘උදාහරණයක් විධියට නීති විරෝධී පෝස්ටර් කටවුට් බැනර් ආදිය අලවද්දී, ඒවා බෙදා හරිද්දී එසේම ළඟ තබා ගෙන සිටියදී පොලිසිය විසින් කරන ලද අත්අඩංගුවට ගැනීම් පොලිස් ස්ථාන කීපයකින් වාර්තා වුනා.පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ජුනි 26 දින මධ්‍යම රාත්‍රියේ පටන් ජූලි 18 වෙනි දින උදෑසන තෙක් එවැනි පැමිණිලි හතළිස් තුනක් වාර්තා වී තිබෙනවා’ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

අත්අඩංගුවට ගැනීම්

එම පැමිණිලි පදනම් කර ගනිමින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැක කරුවන්ගේ සංඛ්‍යාව පනස් හතරක් වන බවත් සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කරයි.

ප්‍රධාන දේශපාලන සන්ධාන දෙකට අයත් මධ්‍යම පළාතේ මුල්පෙළේ දේශපාලනඥයන් තුන් දෙනකුට එරෙහිව මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමසීමක් කළ විට පොලිස් ප්‍රකාශකයා කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ සිදු කර ඇති එම මැතිවරණ නීති කඩ කිරීම් ගැන විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවයි.

Image copyright AFP
Image caption පෝස්ටර් ප්‍රදර්ශනය

පොලිසිය ඒ පිළිබඳව මහනුවර මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළ බවත් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

රූපවාහිනී රූපරාමු

ඉහත කී අපේක්ෂකයන් තිදෙනාගෙන් එක් අයකුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර සෙසු අපේක්ෂකයන් දෙදෙනාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියි.

එම අපේක්ෂකයන්ගේ පෙළපාලි ප්‍රදර්ශනය කරන ලද රුපවාහිනී ආයතන වලින් සංස්කරණය නොකළ පටිගත කිරීම් ලබා ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගත් බවයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් පවසන්නේ.