ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය 'කවදාවත් අඩු වුනේ නෑ'

Image copyright AP
Image caption "ලංකාවේ මවුවරුන්ගේ පෝෂණය අඩුවීමත්, ඒ අයගේ මිටි භාවයත් නිසා ළමුන් සියයට 16 ක් ඉපදෙන්නේ අඩු බරින්"

ලොව ඉතාමත්ම දිළිඳු රටක් නොවූවත් ශ්‍රී ලංකාවාසීන් අතර මන්දපෝෂණය අඩු කිරීමට බලධාරීන් සමත්ව නැති බව ළමා රෝග විශේෂඥයෝ පවසති.

ළමාරක්ෂක අධිකාරියේ ආරම්භක සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවාසීන් ලක්ෂ පනස් දෙකක් මන්දපෝෂණයට ගොදුරු වී සිටින බවට පළ වන වාර්තා පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානී ආචාර්ය සමන් කැලේගම පෙන්වා දී ඇති පරිදි මෙය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විසි පහකට ආසන්න ප්‍රමාණයක්.

මිටි භාවය

රටේ මන්දපෝෂණයෙන් පෙලෙන වැසියන්ගේ ප්‍රමාණය පහල නොයාම බරපතල ගැටලුවක් බවයි, ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා අවධාරණය කරන්නේ.

Image copyright Groundviews
Image caption "ළමුන්ට මුලින්ම දෙන ආහාරවලදී ළමුන්ට මුලින්ම දෙන්න කැඳ වතුර. කැඳ වතුරවල ශක්ති සාන්ද්‍රණය ඉතාමත්ම අඩුයි"

"ලංකාවේ මවුවරුන්ගේ පෝෂණය අඩුවීමත්, ඒ අයගේ මිටි භාවයත් නිසා ළමුන් සියයට 16 ක් ඉපදෙන්නේ අඩු බරින්," ඔහු පවසයි.

මුල් මාස හයේදී මවු කිරි පමණක් ලබාදීම නිසා මන්දපෝෂණය තරමක් දුරට අඩුවුවත්, ඉන් අනතුරුව පෝෂණයෙන් අඩු ආහාර ලබාදීම නිසා දරුවාගේ මන්දපෝෂණය යළිත් වරක් වැඩි වන බවයි මහාචාර්යවරයා සංදේශයට කියා සිටියේ.

"ළමුන්ට මුලින්ම දෙන ආහාරවලදී ළමුන්ට මුලින්ම දෙන්න කැඳ වතුර. කැඳ වතුරවල ශක්ති සාන්ද්‍රණය ඉතාමත්ම අඩුයි."

කැඳ වතුර

එමෙන්ම මේදය සහිත ආහාර පරිබෝජනය සඳහා ජනතාව දක්වන බිය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන තවත් ප්‍රධාන ගැටලුවක්.

"අපි තෙල් යක්කුන්ට සම්බන්ධ කරනවා. අජීරණේට සම්බන්ධ කරනවා. බර ආහාර විදියට වර්ග කරනවා. ඒත් තෙල්වල තමයි ශක්තිය ගොඩක්ම තියෙන්නේ," මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසීය.

මේ පිළිබඳව ගැබිණි මවුවරුන් ඇතුළු ලාංකීය සමාජය දැනුවත් කිරීමට බලධාරීන් අපොහොසත්වීම කණගාටුවට කරුණක් බවයි, ළමා පෝෂණය සම්බන්ධ සමීක්ෂණ ගණනාවක් පවත්වා තිබෙන මහාචාර්යවරයා පවසන්නේ.

රටක පුරවැසියන්ගෙන් මෙතරම් විශාල පිරිසක් මන්දපෝෂණයෙන් පෙලීම ඒ රටේ නිෂ්පාදන හැකියාවට බරපතල ලෙසින් බලපාන කරුණක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර