වෛද්‍ය නිලංග සමරසිංහට 'මරණ තර්ජන'

Image copyright Dr Nilanga Samarasinghe
Image caption අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ

නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ඔවුන් සමග සම්බන්ධතා පවත්වන දේශපාලඥයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිවිපාකයක් ලෙස සිය පවුලේ සාමාජිකයින්ට සහ තමන්ට මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බීබීසී සංදේශය සමග සංවාදයකට එක් වෙමිනි.

තමන්ට මුහුණ දීමට සිදුව ඇති තත්වය විස්තර කරමින් වෛද්‍ය නිලංග සමරසිංහ කියා සිටියේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සහ දේශපාලඥයන්ට එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙවැනි තර්ජන එල්ල වීම ස්වාභාවික බව තමා තේරුම් ගෙන සිටින බවයි.

සිය නිවෙස වටා නාඳුනන යතුරුපැදි සැරිසරන බව කියා සිටි වෛද්‍ය නිලංග සමරසිංහ වැඩි දුරටත් පැවසුවේ මේ හේතුවෙන් සිය දරුවන් දෙදෙනාට පාසල් යාමට පවා නොහැකි වී ඇති බවයි.

Image copyright Thinkstock

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් ඒ වෙනුවෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් තවමත් ගෙන නැති බවයි වෛද්‍ය නිලංග සමරසිංහ පවසන්නේ.

'ඇඬු කඳුලෙන්'

“මගේ අම්මා වේල් තුන නොකා ඇඬු කඳුලෙන් ඉන්නවා, ඇයට තමන්ගේ පුතා නැති වෙයි කියලා, මගේ බිරිඳ ඉන්නෙත් ඇඬු කඳුලෙන්, ඇය මට අධික බලපෑමක් කරනවා රස්සාව නවත්තලා ගෙදර ඉන්න කියලා” යනුවෙන් තමන් පත්ව සිටින තත්වය විස්තර කරමින් ඔහු කියා සිටියේ මෙලෙස පළ දරමින් තිබෙන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අභිප්‍රාය වන බවයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ගෙන යන වැඩ පිළිවල මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ඔවුන්ට සහය ලබා දෙන දේශපාලනඥයන්ට විශාල පහරක් එල්ල කරන අතර මේ මෙහෙයුම් පිටුපස සභාපති වශයෙන් තමන්ගේ බලපෑම තිබෙන බව ඔවුන් දන්නා බවයි වෛද්‍ය නිලංග සමරසිංහ පවසන්නේ.

එල්ල වන තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පමණක් නොව, පොලිස් පති තුමන්, පොලිස් අමාත්‍යංශ ලේකම්, අගමැතිවරයා සහ ජනාධිපතිවරයාට පවා ලිඛිත ව දැනුම් දී ඇති නමුත් එම පාර්ශව මේ ගැටලුව සම්බන්ධයෙන් තවමත් දැනුවත් වී නැති බවක් පෙනෙන බවයි ඔහු කියා සිටියේ.

'රැකවරණයක් නෑ'

වෛද්‍ය නිලංග සමරසිංහ පවසන්නේ තමා පත්ව සිටින තත්වය පිළිබඳව රටම දැනුවත්ව සිටිය දී වගකිව යුතු පාර්ශව වලට ලිඛිත ව දැනුම් දීමෙන් පසුවත් ප්‍රමාණවත් පියවරක් නොගැනීම තමා දැඩි කනස්සල්ලට පත් කර තිබෙන බවයි.

මෑත වකවානුවේ තමා පමණක් නොව විවිධ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු වල රාජ්‍ය සේවකයන් දූෂණයට සහ වංචා වලට එරෙහිව නැගී සිටීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බව පවසන ඔහු වැඩි දුරටත් කියා සිටියේ තවමත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය සවිය ලබා දීමට පාලකයන් බියෙන් සිටින බවයි.

සිය වෘත්තීය ජීවිතයේදී දී ගනු ලබන ක්‍රියා මාර්ග නොබියව දිගටම ක්‍රියාත්මක කරන බවත් වෛද්‍ය නිලංග සමරසිංහ කියා සිටියි.