මහින්දගේ ආරක්ෂාව අඩු කරන්න එපා -පෙත්සමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති ආරක්ෂාව සහ වරප්‍රසාද කප්පාදු නොකරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ යි.

හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන නිසා ඔහුගේ ආරක්ෂාව කප්පාදු කිරීමේ නියෝගයක් පනවන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් දා එම කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කරන මෙන් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් කියා සිටියේය.

Image copyright Rahul Samantha Hettiarachchi

'තරඟයට බිය'

යුද්ධය නිම කිරීමට නායකත්වය දුන් පුද්ගලයා ලෙස හිටපු ජනපතිවරයාට ඉහල ම තර්ජනයක් පවතින බව ඔහු පවසයි.

හිටපු ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව අඩු කරන මෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවට අනුව බවද ඔහු චෝදනා කළේය.

හිටපු ජනාධිපතිවරයා සමග තරඟයට මුහුණ දීමට බියක් දක්වන පිරිස් මෙවැනි පදනම් විරහිත පැමිණිලි ඉදිරිපත් කරන බව පවසන පෙත්සම්කරු තවදුරටත් කියා සිටියේ මේ නිසා හිටපු ජනපතිවරයාගේ ජීවිතයට පවා විශාල තර්ජනයක් එල්ල විය හැකි බවයි.