'දුප්පත් අපේක්‍ෂකයන් පොහොසත් අපේක්‍ෂකයන්ට එරෙහිව'

Image caption මැතිවරණ කොමසාරිස්

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදින ‘දුප්පත් අපේක්ෂකයන්ගේ’ දුප්පත් ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් සහනයක් ලද බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා එවැනි සහනයක් සඳහා එකඟතාව පළ කර තිබෙන්නේ අද (20) කැඳවා තිබුන දේශපාලන පක්‍ෂ නියෝජිත හමුවට සහභාගීවූවන් අමතමින්.

එම හමුව කැඳවා තිබුනේ අගෝස්තු 17 මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

පෝස්ටර් කටවුට් ඉවත් කිරීම

‘සල්ලි ඇති පොහොසත් අපේක්ෂකයන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගන්නා අතරවාරයේ දුප්පත් අපේක්ෂකයන්ට ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා ඇත්තේ පෝස්ටර් සහ කටවුට් පාවිච්චිය පමණයි. ඒවා ඉවත් කිරීමේ නීතිය තදින් ක්‍රියාත්මක කිරීම නිසා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගැනීමට වත්කමක් නොමැති අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදු වන නිසා ඒ පිළිබඳව සලකා බලන මෙන් දේශපාලන පක්‍ෂ නියෝජිතයන් කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළා.’ මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

Image caption මහාචාර්ය තිස්ස විතාරණ

ඊට සහනයක් වශයෙන්, රාත්‍රි කාලයේ ඇලවූ පෝස්ටර් පසුදා උදෑසනම ඉවත් නොකොට සවස් කාලයේ ගලවා දමන මෙන් පොලිසියට උපදෙස් දීමට මැතිවරණ කොමසාරිස්වරයා එකඟ වූ බවයි මහාචාර්ය වරයා කියා සිටින්නේ.

පෞද්ගලික මාධ්‍ය පාලනය

පෞද්ගලික මාධ්‍ය විශේෂයෙන්ම පෞද්ගලික ගුවන් විදුලි සහ රුපවාහිනී නාලිකා මගින් සියලු දේශපාලන පක්ෂ වලට සමව වේලාව වෙන් කිරීමක් සිදු නො කරන බව දේශපාලන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන් බවත් ලංකා සම සමාජ පක්ෂයේ නායකයා පවසයි.

එහෙත් පෞද්ගලික මාධ්‍ය පාලනය අතින් තමාට කළ හැකි කාර්ය භාරය සීමිත බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බවයි ඔහු පවසන්නේ.

එම කාරණය අතින් තමාට කළ හැක්කේ ඉල්ලීමක් කිරීම පමණක් බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළ බවත් මහාචාර්ය විතාරණ සඳහන් කරයි.