මංගල සමරවීර විශේෂ සංවාදයක -කරුණු දහයක්

mangala samaraweera
Image caption බීබීසී සංදේශයේ අසාම් අමීන් විදේශ ඇමතිවරයා සමඟ සංවාදයේ

බී බී සී සිංහල සේවාවේ ෆේස් බුක් පිටුවට එවනු ලැබූ ප්‍රශ්න සිය ගණනක් අතුරින් තෝරා ගත් ප්‍රශ්න වලට පිළිතුරු දුන් විදේශ ඇමති මංගල සමරවීර කියා සිටියේ නව ව්‍යවස්ථාවක් මගින් රටේ ජීවත් වන සියළු ජන කොට්ඨාශ වලට එකට ජීවත් වීමට හැකි අනන්‍යතාවක් ඇති කළ යුතු බවයි.

කොළඹ සිට අසාම් අමීන් නැගු ප්‍රශ්න අතුරින් මංගල සමරවීර ඇමතිවරයා පිළිතුරු දුන් ප්‍රශ්න දහයක්:

(1)මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් චීන ආණ්ඩුව මුදල් වියදම් කරනවා කියන්නේ ඇත්තක්ද?

එවැනි වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබෙන බව දුටුවා.නමුත් චීන ආණ්ඩුව එවැනි තත්වයකට පත්වෙතැයි හිතන්නේ නැහැ.

(2) ශ්‍රී ලංකාවට මුදල් එවන ශ්‍රී ලාංකිකයින්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දිය හැකිද?

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන පිරිස් වලට සහන ලබාදිය යුතුයි, මේ සඳහා රජයට යන වියදම ගණන් බැලීමෙන් අනතුරුව විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ලබාදෙන වරප්‍රසාද ගැන සාකච්ඡා කළ හැකියි.

(3) මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වුවහොත් ඔහුට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමග වැඩකරගෙන යා හැකිවෙයිද?

මහින්ද රාජපක්ෂ කවදාවත් අගමැති වෙන්නේ නැහැ.පසු පෙළ මන්ත්‍රීවරයෙක් ගෙන් එහාට යන්න ලැබෙන්නේ නැහැ.

(4) කොටි ඩයස්පෝරාව මෙහෙ ගෙන්වා ගැනීමෙන් අත් කරගත හැකි වාසිය කුමක්ද?

Image copyright AFP

ඩයස්පෝරාව කියන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා,ඒ අය ලාංකිකයින් ඒ අයගේ විවිධ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න ඕනේ.ලංකාවට ආඩම්බරවිය හැකි ලංකා පුත්‍රයින් ලංකාවට ගෙන්වා ගැනීමේ වරද මොකද්ද?

(5) මැතිවරණ සමයේදී එක්සත් ජාතීන්ගේ ව්‍යාජ වාර්තාවක් පළ කොට දේශපාලන වාසි ලබාගැනීමේ සැලැස්මක් තිබෙන බව දැනගන්ට ලැබී තිබෙනවද?

ඔව්. එවැනි සැලැස්මක් තිබෙන බව දැනගන්නට තිබෙනවා.මේක මහින්ද රාජපක්ෂ ගේ බංකොළොත් දේශපාලනයේ තවත් සුපුරුදු උපක්‍රමයක්.පසුගිය ජනාධිපතිවරණයේදීත් ව්‍යාජ රහස් ගිවිසුමක් ඉදිරිපත් කළා.

(6) ඉදිරියේදී එන එක්සත් ජාතීන් ගේ යුධ අපරාධ වාර්තාවට අනුව ශ්‍රී ලාංකිකයින් වැරදිකරුවන් කර තිබුනොත් එක්සත් ජාතික පක්ෂ රජයක් ඒ ගැන මොකක්ද කරන්නේ?

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ මේ ගැන ඉතා පැහැදිලිව ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ නොදෙන බව කියා තිබෙනවා.දැනටමත් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව චෝදනා ඇත්නම් ඒ ගැන හොයා බැලීමට දේශීය යන්ත්‍රණයක් ඇති කිරීම කෙරේ අවධානය යොමු වී ඇති අතර සැප්තැම්බර් මාසයේදී ජිනීවා වාර්තාව නිකුත්වූ පසුව හෙළිදරව් වන කරුණු අනුව පියවර ගන්නවා.

(7)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සතු ඩොලර් බිලියන දහ අටක ජාත්‍යන්තර වත්කම් පිළිබඳව ඔබ චෝදනා කලා එහෙත් පිළිගත හැකි සාක්ෂි නැහැ?

ඒ පිළිබඳව ලෝක බැංකුවේ ඒකකයක් ඇතුළුව රටවල් හතරක් සහයෝගය ඇතුව විමර්ශන කරගෙන යනවා. මේ සල්ලි බොරු නම් වලින් සහ ව්‍යාජ සමාගම් විසින් හංගලයි තියෙන්නේ.මේ වගේ විමර්ශන මාසයෙන් දෙකෙන් ඉවර කරන්න බැහැ.

(8) අර්බුදයට ලක්වී තිබෙන මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සාධාරණීකරණය කරනවාද?

චෝදනාව ඔප්පු වෙන තුරු ඔහු නිවැරදිකරු සේ සැලකිය යුතුයි.නීත්‍යනුකුලව වරදක් සිදුවී ඇති බවට සාක්ෂි නැත. මෙය ආණ්ඩුව දේශපාලන වශයෙන් අපකීර්තියට පත් කිරීමට ගෙනාපු චෝදනාවක් කියාලා හිතනවා.

(9) ජනාධිපතිවරණ ප්‍රතිපල නිකුත් වූ අළුයම සිදුවූ කුමන්ත්‍රණයක් ගැන ඔබ කථා කළා . දැන් ඒ ගැන මොකද වෙන්නේ?

Image copyright Reuters

මම කථා කළා විතරක් නෙවේ රහස් පොලීසියට පැමිණිල්ලක් කළා ඒ ගැන විමර්ශන කරගෙන යනවා. හිටපු හමුදාපතිවරයා කියා තිබෙනවා එතුමන් හිටියේ නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියාලා. ඒකෙන්ම ඔප්පු වෙනවා කුමන්ත්‍රණයක් තිබුන බව.

(10) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිර්පාර්ෂිකව පෙනී සිටින බව ඔබ පෙබරවාරියේ දීම කියා සිටියා මේක සැලැස්මක කොටසක්ද?

දේශපාලනය තේරෙන කෙනෙකුට පෙනෙනවා අපි ප්‍රයෝගික ක්‍රියා මාර්ගයක ගමන් ගන්නා බව.එක්සත් ජාතික පාක්ෂිකයින් ගේ බහුතර ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් හැටියට රට ගැනත් දිනන පිරිස ගැනත් හිතා ජනාධිපතිවරයාට නිර්පක්ෂිකව කටයුතු කිරීමට සිදුවෙනවා.

ප්‍රතික්ෂේප කිරීම්

ජනාධිපතිවරණ ප්‍රතිපලය නිකුත් වූ රාත්‍රියේ කුමන්ත්‍රනයක් පැවතී බවට නැගෙන චෝදනා මෙන්ම තමන්ට හෝ පවුලේ අයට සැඟවූ වත්කම් තිබෙන බවට නැගෙන චෝදනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කොට තිබේ.