'කෝප්' වාරණ නියෝගය ඉවතට

Image caption කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර හිටපු ඇමතිවරයා

මහා බැංකු බැඳුම්කර සිද්ධියට අදාලව පාර්ලිමේන්තු කෝප් කමිටුව සිදු කළ පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධිය පත් කිරීම වළකාලමින් පනවා තිබු වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් ඉවත් කෙරේ.

අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලු අධිකරණය විසින් අද, බ්‍රහස්පතින්දා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබිණ.

එහෙත් අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී සුජීව සේනසිංහ පාර්ශවයේ නීතිවේදීන් කියා සිටියේ අදාළ වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ කිරීම අනවශ්‍ය අතර නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කරන ලෙසයි.

ඒ අනුව වාරණ නියෝගය ඉවත් කළ අධිකරණය නඩු විභාගය ලබන 30 වැනිදා පැවැත්වීමට තීරණය කළේය.

මෙහිදී වග උත්තරකාර සුසිල් ප්‍රේම්ජයන්ත් හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදිනී මේරි ඩික්මන් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන අවස්ථාවක සිය වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කරමින් සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා විසින් මෙම වාරණ නියෝගය ලබාගෙන ඇති බවයි.

මේ හේතුවෙන් සේනසිංහ හිටපු මන්ත්‍රීවරයාගෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බවද නීතිවේදිනිය ප්‍රකාශ කළාය.

නඩුවේ වග උත්තරකරුවකු ලෙස නම්කර තිබු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මගින් වසාදැමීමට උත්සාහ කළ මහා වංචාවක් මෙම නියෝගය තුලින් හෙළිදරව් කිරීමට හැකියාව සැලසෙන බවයි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී පැමිණිලිකාර නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අධිකරණයේ පෙනී නො සිටි අතර ඔහුගේ නීතිවේදීන් මාධ්‍යවලට දහස් පළකිරීමෙන් වැළකී සිටියා.