'ඇයි ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ?'

Image copyright Mahinda Rajapaksha

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (23) සිය ෆේස් බුක් ගිණුම හරහා ජනතාව ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඔවුන් සමග සජීවී සංවාදයකට සහභාගී විය.

මේ ආකාරයෙන් ෆේස්බුක් සංවාදයකට ඔහු එකතු වුනේ පසු ගිය ජනාධිපතිවරණ කාලයේ පැවැත්වූ සංවාදයට පසුවයි.

හිටපු ජනාධිපතිවරයාට සිය ෆේස්බුක් ගිණුම හරහා හිතවාදී ඡන්දදායකයන්ගෙන් මෙන්ම ප්‍රතිවාදී ඡන්දදායකයින්ගෙන් ද ප්‍රශ්න තුන්දහස් පන්සීයකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණි.

එම සංවාදයේදී නැගුනු සිත්කාවදින ප්‍රශ්න කිහිපයක් සහ ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති වරයා ලබා දුන් පිළිතුරු හයක් පහතින් දැක්වේ.

ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් නායකයා ලෙස මහින්ද රාජපක්ෂට ගරු කරන බව පැවසු එක් පුද්ගලයෙකු සංවාදයට එක වෙමින් කියා සිටියේ ‘නමුත් ඔබතුමාගේ පාලන සමයේ සිදු වු ඇතැම් දූෂණ වංචාවලට එරෙහිව පියවර නොගැනීම ගැන තමන් තුළ ඇත්තේ කණගාටුවක්.’ බවයි.

'සැමට සමාන නීතියක් - ක්‍රමවත් නිවැරදි පාලනයක්'

ඒ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “ඉදිරියේ දී ඔබ අතට පත් වන එජනිස මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දොළොස් වැදෑරුම් වැඩපිළිවෙළේ දූෂණ මර්දනය පිළිබඳ ප්‍රතිපත්තියක් අන්තර්ගතයි. එය නම් කොට ඇත්තේ "සැමට සමාන නීතියක් - ක්‍රමවත් නිවැරදි පාලනයක්…" ලෙසයි. මේ යටතේ අපි,මෙතෙක් පැවති සියලුම රජයන්ට එල්ලවූ සියලු පදනම් සහිත හෝ විරහිත චෝදනා, පවතින නීති රාමුව තුල විනිවිදභාවයෙන් යුතුව විමර්ශනය කිරීමටත් එහි ප්‍රතිඵල මහජනතාවට හෙලිදරව් කිරීමටත් අපි කටයුතු කරනවා. මෙම කටයුතු අධීක්ෂණය කිරීම සර්ව පාක්ෂික විද්වත් කමිටුවකට පවරන්නෙමු. එසේම දේශපාලන අධිකාරිය විසින් යට ගසන ලද මහ බැංකු ණය කර වංඔචාව වැනි මහා පරිමාණ දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා පවතින නීති රාමුව තුල දඬුවම් පැමිණවීමට අපි කටයුතු කරනවා.” යන්න හිටපු ජනාධිපති වරයාගේ පිළිතුර විය.

Image copyright Twitter

පැමිණෙන මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂට අගමැති ධුරය හිමි වුවොත් ඔහු විසින් ගනු ලබන ප්‍රථම පියවර කුමක්දැයි ෆේස්බුක් ලෝලියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට අතර මග නවතා ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් දියත් කිරීමට කටයුතු කිරීම සිය ප්‍රථම පියවර වනු ඇති බවයි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම වෙනුවෙන් දැඩි අවධානයක් යොමු වෙනු ඇති අතර අධ්‍යාපනය සංවර්ධනය කිරීම තුලින් රටේ යොවුන් පරපුර සහ ඔවුන්ගේ දක්ෂතා සවි ගැන්වෙන බවයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ සිදුවීම් කිහිපයක් ඉදිරිපත් කරමින්, “මර්වින් සිල්වා වැනි අය රජයේ සේවකයන් ගස් බදිද්දි ඇයි ඔබ තුමා ක්‍රියාමාර්ගයක් නොගත්තේ? දලදා මාලිගාව ළඟ රේස් පදින්න මහ නයක හාමුදුරුවෝ විරුද්ධ වෙද්දි ඇයි අවසර දුන්නේ?” යනුවෙන් තවත් ෆේස්බුක් ලෝලියෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අසමත් වීමට හේතු විමසා සිටියේය.

එම ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා සිය වැරදි සම්බන්ධයෙන් තමන් ස්වයං විවේචනයක යෙදෙන බවත් එහි පළමු පියවර ලෙස තමන් අතින් සිදු වූ වැරදි පිළිගෙන නිවැරදි කර ගැනීමට සුදානම් බවත් කියා සිටියේය.

'වැරදි නිවැරදි කර ගන්නට සූදානම්'

“ඔබේ මතය එක්තරා දුරකට පිළිගන්න මට සිද්ධ වෙනවා. ඒක නිසා තමයි මම ඉතාම විවෘතව ස්වයං විවේචනයක යෙදෙන්නේ අපි කරපු වැරදි සම්බන්ධව. වැරැද්දක් නිවැරදි කර ගැනීමේ ප්‍රථම පියවර තමා වැරැද්ද වටහා ගැනීම. මම හිතන්නේ වෙන කිසිඳු දේශපාලන ව්‍යාපාරයක් නොකල මෙම ස්වයං විවේචනය අපි කරලා තියෙනවා. අපි අපේ වැරදි නිවැරදි කර ගන්නට සූදානම්.” යනු හිටපු ජනාධිපතිවරයාගේ පිළිතුරයි.

Image copyright Rahul Samantha Hettiarachchi

හිටපු ජනාධිපතිවරයා නැවතත් බලයට පැමිණියොත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නේ දැයි නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ කියා සිටියේ පෞද්ගලික අංශයේ වැටුප් 3000කින් වැඩි කිරීම නීති ගත කිරීමට තමන් පියවර ගන්නා අතර පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ට බදු සහන ලබා දීමද ඒ සමග ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජන මාධ්‍ය මගින් ඉල්ලීම් කර තිබියදීත් අගමැති රනිල් වික්‍රමසිංහ සමග සජීවී සංවාදයකට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් නොවන්නේ ඇයි දැයි නැගුණු ප්‍රශ්නයකට කෙටි පිළිතුරක් සැපයූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන් සජීවී සංවාදයකට සුදානම් නමුත් අගමැතිවරයා සිය අභියෝගය භාර ගෙන නැති බවයි.

ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයෙකු මහා මැතිවරණයක නාමයෝජනා ලද ප්‍රථම අවස්තාව මෙය බව පෙන්වා දෙමින්, එලෙස නැවතත් දේශපාලනයට පැමිණීමට හේතු විමසා සිටි එක් ෆේස්බුක් ලෝලියෙකු අසා සිටියේ ඔබගේ අභිලාශය ජනතාවට සේවය කිරීමද නැතිනම් පාර්ලිමේන්තුවේ ආසනයක් හිමි කර ගැනීමද යන්නයි.

මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සුදානම්ව සිටි අතර නැවත මහා මැතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය තමන් සතු නොවූ බවයි.

සිය පක්ෂයේ බහුතර මතය සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් තමන් එම තීරණයට එකඟ වූ බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.