සිරියාවේදී මිය ගිය තරුණයා ගැන සොයන්න -අගමැති

සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්ට එක් වී සිටිය දී මිය ගිය බවට සැක කෙරෙන ශ්‍රී ලාංකික තරුණයා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝග කරයි.

මේ පිළිබඳව පරීක්ෂා කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පවසන්නේ.

මෙම විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිස් ප්‍රකාශකවරයා බීබීසීයට ප්‍රකාශ කළේය.

පොලිසිය

Image copyright Sri Lankan Police

මෙම පුද්ගලයා කලක් මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි බවත් පසුව කොටහේන ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති බවත් විමර්ශන වලින් හෙළි වී ඇති බවද පොලිස් ප්‍රකාශකවරයා කියා සිටියේය.

‘මේ පුද්ගලයා ගලේවෙළ ප්‍රදේශයේ සහ කොටහේන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් දෙකක විදුහල්පතිවරයා ලෙස කටයුතු කරලා තියෙනවා. පසුව ඔහු රැකියාවක් සඳහා සිරියාවට ගොස් ඇති බවත් එහිදී මිය ගොස් ඇති බවත් අනාවරණය වෙලා තියෙනවා. නමුත් ඔහු කැරලි කණ්ඩායමකට සම්බන්ධ වී සිටි බවට තවම තහවුරු වෙලා නැහැ.’ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසීය.

කෙසේ නමුත් විදේශ කටයුතු අමාත්‍යංශය හා සම්බන්ධ වී මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බවයි පොලිස් ප්‍රකාශකවරයා තව දුරටත් කියා සිටියේ.

ඉස්ලාමීය විද්වතුන්

IS කැරලිකරුවන්ට ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙකු එක් වී ඇති බවට වාර්තා පළ වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවූ ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය පවසන්නේ අන්තවාදී ඉස්ලාමීය කැරලිකරුවන් සහ ඉස්ලාම් ධර්මය අතර සම්බන්ධතාවක් නොමැති බවයි.

ඉස්ලාම් දහම වැරදි ආකාරයට තේරුම් ගැනීම නිසා ලෝකයේ ඇතැම් පිරිස් නොමඟ ගොස් ඇති බවයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා හෙවත් ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් ෆාසිල් ෆාරුක් බීබීසීයට කියා සිටියේ.

මෙය තනි පුද්ගලයෙකුගේ තීරණයක් විය හැකි අතර එය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අනුමත නොකරන බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ අන්තවාදී ඉස්ලාමීය සංවිධාන ක්‍රියාත්මක නොවන බවද ඔහු අවධාරණය කර සිටියේය.