‘බැඩ්මින්ටන් තහංචිය ඔලිම්පික් කමිටුවේ වරදින්’-සුරාජ්

Image copyright AFP

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව කඩා වැටීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පැවරෙන්නේ ජාතික ඔලිම්පික් කමිටුවට යයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති සුරාජ් දන්දෙනිය පවසයි.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සමේලනයේ සාමාජිකත්වය අහෝසි කරනු ලැබීමෙන් පසුව බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි සභාපතිවරයා එම අදහස පළ කළේ.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය දැනුම් දී තිබෙන්නේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලන ව්‍යවස්ථාව ඔවුන්ගේ නිර්ණායකයන්ට අනුගත නොවන බවයි.

ජාතික ඔලිම්පික් කමිටුව

Image copyright Daily News
Image caption ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න

ජාත්‍යන්තර රෙගුලාසි සහ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා නීතිය අතර වෙනස්කම් ඇති බැවින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලන ව්‍යවස්ථාව ජාතික නීති රෙගුලාසි වලට අනුගත වීමේදී සිය රෙගුලාසි වලට එරෙහි වන බවත් ලෝක බැඩ්මින්ටන් සම්මේලනය පෙන්වා දෙයි.

උද්ගත වී පවතින තත්වය සම්බන්ධයෙන් බීබීසියට වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති සුරාජ් දන්දෙනිය කියා සිටියේ, ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයත් සමඟ කතා කර අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා දැනුවත් කිරීම් සිදු කළ යුතු බවයි.

‘ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයත් සමඟ කතා කරලා මේ මේ කොටස් දැනට පවතින ක්‍රීඩා පනතින් ඉවත් කළ යුතුය කියල අපට දැනුම් දෙන්න ඕන. එවැනි දැනුවත් කිරීමකින් අනතුරුව අපට පුළුවන් අපේ පනත හදා ගන්න’ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති සුරාජ් දන්දෙනිය කියා සිටියි.

දේශපාලන මැදිහත් වීම්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය කෙරෙහි දේශපාලන බලපෑම් එල්ල කෙරෙන බවට ඉදිරිපත් වෙන චෝදනා පිළිබඳව බීබීසිය විමසූ විට සුරාජ් දන්දෙනිය සඳහන් කළේ ‘එවැනි බලපෑමක් නොමැති’බවයි.

‘එවැනි දේශපාලන මැදිහත් වීම් ගැන කිව්වේ ජාතික ඔලිම්පික් කමිටුවයි. එම දේශපාලන මැදිහත් වීම් මොනවද කියල ඔවුන්ගෙන් විමසිය යුතුයි’ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා පවසයි.

Image copyright Daily News
Image caption තිලිනි ජයසිංහ

තරඟ සම්බාධක

කෙසේ වුවද, උද්ගත වී ඇති තත්වය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයට ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධානය කෙරෙන තරඟාවලීන් සඳහා ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇත.

ඊට අමතරව ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරෙන වෙනත් බැඩ්මින්ටන් තරඟ සහ උත්සව වලට සහභාගී වීමේදීත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයට සම්බාධක වලට මුහුණ දීමට සිදු වනු ඇත.