ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පල්ලියවත්ත දූපත 'ශ්‍රී ලංකා සිතියමෙන් ඉවත් වේවි'

වයඹ බටහිර මුහුදු තීරය තුල සිදුවන මුහුදු ඛාදනය හේතුවෙන් පල්ලියවත්ත දූපත නුදුරු දිනකම ශ්‍රී ලංකා සිතියමෙන් ඉවත් විය හැකි බවට දුපත්වාසීහු අනතුරු අඟවති.

ඉතා වේගයෙන් මුහුදට දිය වී යාම හේතුවෙන් දූපත්වාසීන් දිනෙන් දිනම එය හැර යමින් සිටින අතර දූපතේ මේ වන විට වෙසෙන්නේ පවුල් තිහකට ආසන්න පිරිසකි.

මීට වසර දහයකට පෙර පල්ලියවත්තේ පවුල් තුන්දහසකට ආසන්න පිරිසක් ජීවත් වූ බවයි, පල්ලියවත්ත දූපතේ ධීවර සමිතියේ සභාපති ලක්ෂ්මන් ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ.

ඒ දිනවල කල්පිටිය දූපත් සමූහයට අයත් විශාලතම දුපත වුයේද පල්ලියවත්තයි.

Image caption මුහුද ගොඩ කිරීම සහ නොරොච්චෝලේ බලාගාරය ඇතුළු දකුණේ මුහුදු තීරයේ සංවර්ධන කටයුතු හේතුවෙන් මුහුදු ඛාදනය ඉහල ගොස් ඇති බව දූපත්වාසීන්ගේ මතයයි

එදා පොලිසියක්, පල්ලියක්, පාසලක්, සිනමා ශාලාවක් සහ උප තැපැල් කාර්යාලයක් පවා තිබුණු පල්ලියවත්තේ දැන් තිබෙන්නේ පල්ලිය සහ ගරා වැටුණු උප තැපැල් කාර්යාලය පමණයි.

වරාය නව නගරය ඉදි කිරීම සඳහා මුහුද ගොඩ කිරීම සහ නොරොච්චෝලේ බලාගාරය ඇතුළු දකුණේ මුහුදු තීරයේ සිදුවන සංවර්ධන කටයුතු හේතුවෙන් වයඹ බටහිර මුහුදු තීරයේ මුහුදු ඛාදනය දරුණු ලෙසින් ඉහල ගොස් ඇති බව දූපත්වාසීන්ගේ අදහසයි.

එහි ප්‍රතිඵලයක් ලෙසින් පල්ලියවත්ත දූපත්වාසීහු එහි සිට මුහුදු සැතපුමක් පමණ දුරින් නිර්මාණය වෙමින් පවතින පාරාමුනේ දුපතට සංක්‍රමණය වෙමින් සිටිති.

පාරාමුනේ දූපතේ මේ වන විට පවුල් සියයකට අසන්න ප්‍රමාණයක් පදිංචිව සිටී.

මුහුද ගොඩකර නව නගර නිර්මාණය කිරීමට පෙර විනාශ වෙමින් තිබෙන සිය දූපත ආරක්ෂා කරදෙන ලෙස දුපත්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.