තාජුදීන් මරණය රිය අනතුරක් නොව මිනී මැරුමක් - රහස් පොලිසිය

Image copyright SPL

සුප්‍රකට රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

2012 වසරේ නාරාහේන්පිට පාර්ක් විදියේ සිය වාහනය තුළ වසීම් තාජුදින් මරා දමා තිබූ බවට සැක කෙරුණු නමුත් එය රිය අනතුරකින් සිදුවූවක් බව මිට පෙර පොලිසිය විසින් ප්‍රකාශයට පත් කොට තිබිණ.

එම නිගමනය තමන්ට පිළිගත නොහැකි බවත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත් මිය ගිය අයගේ ඥාතිහු ඉල්ලා සිටියහ.

විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බවටත් ඔවුහු චෝදනා කළහ.

එහෙත් නව රජය බලයට පත්වීමෙන් පසුව යළිත් පරීක්ෂණය ආරම්භ විය.

අධිකරණ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ

රහස් පොලිසිය පවසන්නේ තාජුදින් ඝාතනය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

එම ප්‍රකාශ විශ්ලේෂණය කිරීමේ දී අදාළ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොවන බවයි රහස් පොලිසිය කියා සිටියේ.

තාජුදීන් මරණයට පත්වීමට පෙර පහර දීමකට ලක්ව ඉල ඇට බිඳී හිංසාවට ලක්ව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බව පවසන රහස් පොලිසිය මෙය මිනීමැරුමක් බවට විශ්වාස කල හැකි සාධක හමුව ඇති බව අධිකරණය හමුවේ කියා සිටියේය.