අල්ලස් කොමසාරිස්වරුන්ට එරෙහි පරීක්ෂණයක්

අල්ලස් කොමිසම අඩ පණ කර එහි පරීක්ෂණවලට බාධා කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කරයි.

පසුගිය රජය විසින් පත් කරන ලද අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් කොමිසමේ කටයුතු සම්පුර්ණයෙන් ඇණ හිට තිබෙන බවයි අද, බ්‍රහස්පතින්දා කැබිනට් තීරණ දැනුම් දෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ.

අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂ කැබිනට් පත්‍රිකාවක් යොමු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එහි වර්තමාන ක්‍රියාකාරීත්වය ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.

කොමිසමේ සභාපතිවරයාගේ හා කොමසාරිස්වරුන්ගේ ක්‍රියා කලාපය නිසා විමර්ශන අවසන් කර ඇති පැමිණිලි විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිත්‍යානුකුල පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මණ්ඩලයේ අවධානයට යොමු කළේ.

අල්ලස් කොමිසමට නව රජය විසින් පත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය හා හිටපු රජය විසින් පත් කළ කොමසාරිස්වරුන් අතර ඇතිව තිබෙන මත භේද හේතුවෙන් කොමිසමේ එදිනෙදා කටයුතු අඩ පන වී ඇති බවයි අගමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.

එක් කොමසාරිස්වරයෙකු ඉල්ලා අස්වීම හේතුවෙන් කොමිසමේ කටයුතු පවත්වා ගෙන යා නොහැකි බව පවසමින් අදාළ කොමසාරිස්වරුන් දෙදෙනා මැයි මස 15 වැනිදා සිට ජුනි මස 24 වැනිදා දක්වා කොමිසමේ කිසිදු කටයුත්තක් කර ගෙන යාමට ඉඩ ලබා දී නොමැති බවද අගමැතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ අදාළ කොමසාරිස්වරයා වුවමනාවෙන්ම ඉවත් වුයේ කොමිසමේ වැඩකටයුතු නවතා දැමීමට බවයි.

අගමැතිවරයා සිය ලිපියෙන් කොමසාරිස්වරුන්ට චෝදනා ගණනාවක් එල්ල කර තිබේ. එනම්;

• පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා අල්ලස් කොමිසම අළුතින් පොලිස් නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීමට අවසර ලබා නොදීම • පරීක්ෂණ සඳහා අවශ්‍ය විශේෂ නිලධාරීන් පත් කිරීමට අවසර නොදීම • අල්ලස් ලිපි ගොනු නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා සකස් කළ වැඩ පිළිවලට අවසර ලබා දීමට කොමිසම් සභා රැස්වීමක් පැවැත්වීමට අවසර ලබා නොදීම • ඇමරිකා එක්සත් ජනපදය ලබාදී තිබෙන පුහුණු අවස්ථා සඳහා නිලධාරීන් යැවීමට අවස්ථා ලබා නොදීම

මේ හේතුවෙන් ප්‍රබල දේශපාලකයන් තිදෙනකු පිළිබඳව සිදු කරනු ලැබූ පරීක්ෂණ මාස 6 කින් වත් කල් යනු ඇති බවයි අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙන්නේ.

Image caption හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවීමේ උත්සාහයට එරෙහිව පාර්ලිමේන්තුවේ පැවතී උද්ඝෝෂණය

හිටපු රජය පත් කළ මෙම කොමසාරිස්වරුන් හොරුන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කර ඇති බවටයි අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා කළේ.

" මේ කට්ටිය ඉවත් කරන්න බැහැ, මේ පත්වීම් කළේ ඒ රජයෙන්, ඒ කට්ටිගේ හොර වංචා ටික වහ ගන්න තමයි හැදුවේ, දැන් කියලා ඇති ඡන්දෙ වෙනකම් හොරකම් ටික වහල දෙන්න කියලා, අපි අගෝස්තු 18 වැනිදාට පස්සේ මෙම කොමසාරිස්වරුන් ඉවත් කරලා, එයට ස්වාධීන කොමිෂන් සභා හරහා නිලධාරීන් පත් කරනවා"

මෙම කොමිසමේ කටයුතු අඩ පනව ඇති බවට වාර්තා කිරීමට මෙතරම් කාලයක් ගත වුයේ ඇයි දැයි බිබිසි ය අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසීමක් කළේය.

එයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ දිගින් දිගට ඇතිවූ සිද්ධීන් සියල්ල එකින් එක සැලකිල්ලට ගෙන මෙම වාර්තාව සකස් කිරීමට සිදුවූ නිසා කාලය ගත වූ බවයි.

" ඒත් එක්කම තීන්දුවක් ගත්තා, මොවුන් කළ සියළු ක්‍රියාමාර්ග ගැන. මොවුන් තනතුරෙන් ඉවත් කළ පසුවත් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට, එහෙම නීතියක් නැත්නම් පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කර කටයුතු කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළා"

මේ පිළිබඳව විමසීමට අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇමතීමට බිබිසි ය ගත් උත්සාහය අසාර්ථක වූ අතර අල්ලස් කොමිසමේ කටයුතු අඩ පන කිරීමට කොමසාරිස්වරුන්ට බලපෑම් කළ බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එල්ල වෙන චෝදනාව පිළිබඳ විමසීමක් කළේ සන්ධානයේ හිටපු මන්ත්‍රී මනුෂ නානායක්කරගෙන්.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ආකාරයට ක්‍රියා නොකිරිම නිසා රජය මෙම නිලධාරීන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

" අල්ලස් කොමිසමට පත් කරලා තියෙන්නේ හිටපු විනිසුරුවන් වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒ නිලධාරීන් මේ පහු ගිය මාස හයේත් ඒ කළ යුතු වැඩ කොටස ඉෂ්ට කළා, හැබැයි හොරු නොවන උදවිය හොරු කරන්න රනිල් වික්‍රමසිංහගේ උවමනාවට වැඩ කරන්න ඒ නිලධාරීන් සුදානම් නැතුව ඇති"

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් කටයුතු කරන්නේ අල්ලස් පනතට අනුව මිස රජයට අවශ්‍ය ආකාරයට නොවන බවයි මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.