මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ හැකිද?

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ හැකිද? යන ප්‍රශ්නය ප්‍රස්තුත වන්නේ රජයේ ප්‍රධාන පුවත් දෙකක් සපයන ශීර්ෂ පාඨ හේතු කොට ගෙනයි.

දිනමිණ සහ ඩේලි නිව්ස් පුවත්පත් වාර්තා කරන්නේ ‘යළි ඉදිකිරීම් සහ සංවර්ධන නියෝජිත ආයතනයේ (රාඩා) මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයා මීට පෙර අල්ලස් කොමිසමට කැඳවීමට ගත් උත්සාහය කෙළවර වුනේ පාර්ලිමේන්තුව තුළ රැය පහන් වන තුරු පැවති මැති ඇමතිවරුන් ගේ විරෝධතාවකින්.

සුනාමි විපතින් නිවාස සහ දේපළ අහිමි වූ අයට සහන සැලසීම සඳහා පිහිටුවා තිබුණු රාඩා ආයතනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විෂය ක්ෂේත්‍රය යටතේ පැවති ආයතනයක් වන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් එහි සභාපති වශයෙන් කටයුතු කළේය.

Image copyright Reuters

මෙම විමර්ශන ගෙන යන අතරවාරයේ දී තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.

සුනාමි යළි ඉදිකිරීමේ අරමුදලේ මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා එල්ල වීමෙන් පසු එහි පරිපාලන නිලධාරීන් දෙදෙනෙකු පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලද බවද දිනමිණ වාර්තා කරයි.

නීතිමය බලය

එම පරීක්ෂණ ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අවශ්‍ය වී ඇති බවයි පැවසෙන්නේ.

හිටපු ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට නීතිමය බලයක් තිබේ දැයි බීබීසිය කළ විමසීමක දී ප්‍රවීණ නීති උපදේශක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ එවැනි මුක්තියක් හිමි වන්නේ යමෙකු ජනාධිපති පදවියේ සිටින තාක් කල් පමණක් බවයි.

එම නිසා හිටපු ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රශ්න කිරීමට නීතිමය බාධාවක් නොමැති බවත් වසර විස්සක් ඇතුළත හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමටත් හැකියාව තිබෙන බවත් ඔහු තවදුරටත් පැවසීය.

Image copyright Dinesh Gunawardena

'දඩයමක්'

මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේදී තම දේශපාලන ප්‍රතිවාදී නායකයාට පදනම් විරහිතව අපහාස චෝදනා හා මඩ ගැසීම් කර ගෙන යාම සහ ප්‍රශ්ණ කිරීමකට ලක් කිරීම ඉතා පැහැදිලිවම මැතිවරණ නීති උල්ලංගනය කිරීමක් බවයි හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බීබීසීයට කියා සිටියේ.

‘මේක නීතියක් නොවෙයි, දඩයමක්. පසුගිය මාස කිහිපය තුළ එජාප ආණ්ඩුව හැසිරුනේ මේ ආකාරයටමයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ නායක තුමාට හෝ අපේ අපේක්ෂකයන්ට මෙලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු නොකරන ලෙස අනතුරු අඟවනවා.’ දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා පැවසීය.