රවීගේ ආධාරකාරියක් මරුට:ප්‍රතිවාදීන්ට චෝදනා

කොළඹ, කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අමාත්‍ය රවී කරුණානායකගේ මැතිවරණ ප්‍රචාරනයේ යෙදී සිටි පිරිසකට නාදුනන කණ්ඩායමක් විසින් කළ වෙඩි තැබීමක් නිසා කාන්තාවක් මිය ගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මියගිය කාන්තාව හතළිස් දෙහැවිරිදි මදර් සාහිත් සිත්ති නැසීමා වශයෙන් හඳුනාගෙන ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

පොලිස් පරීක්ෂන ආරම්භ වී ඇති නමුත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැති බවයි පොලීසිය කියා සිටියේ.

අද දහවල් කාලයේ දීයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

වාහන දෙකකින් පැමිණි පිරිසක් මෙසේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ අධාරකරුවන්ට වෙඩි තබා පලා ගොස් තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

සුදු වෑන් සංස්කෘතිය යළිත් හොල්මන් කරන්නට පටන් ගෙන ඇති නමුත් ඊට බිය නොවන ලෙස රවී කරුණනායක ඡන්ද දායකයින් ගෙන් ඉල්ලා සිටියේය.

බීබීසී සංදේශයේ අසාම් අමීන්ට කථා කළ රවී කරුණානායක කියා සිටියේ පන්සීයකට වැඩි ආධාරකරුවන් පිරිසක් සමඟ සිටියදී වාහනයකින් පැමිණි පිරිසක් දිගට හරහට වෙඩි තබන්නට වූ බවයි.

තුවාල කරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවයි ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසන්නේ.

මෙවර මැතිවරණයේ මෙතෙක් වාර්තාවුණු බිහිසුණු සිදුවීම මෙය වන අතර මේ සිද්ධියට පෙර මෙම මැතිවරණය අතිශය සාමකාමී මුහුණුවරක් ගනු දක්නට ලැබුණි.