සැක කටයුතු මෝටර් රථයේ අයිතිකරු හඳුනා ගැනේ

Image copyright sri Lanka police

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන මෝටර් රථයේ අයිතිකරු හඳුනා ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහුගෙන් ලැබුණු තොරතුරු ඔස්සේත් විමර්ශන ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

මේ වන විට ඊයේ රවී කරුණානායක ඇමතිවරයා සමඟ පා ගමනක නිරතව සිටි පිරිස් වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව බුද්ධි අංශ යොදවා සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

වෙඩි තැබීම, දේශපාලන වශයෙන් ඇති ආරවුලක් මත සිදුවූවක්ද එසේත් නැත්නම් මැර කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ආරවුලක්ද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන යොමුවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.