ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සන්ධාන අපේක්ෂකයෝ 'මනාප ගන්න රාජපක්ෂ නම විකුණනවා'

මනාප ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම අපේක්ෂකයින් හිටපු කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ යොදා ගන්නා බව හිටපු ජනපතිවරයාගේ ප්‍රකාශක පැවසුවේය.

'සන්ධානයේ අපේක්ෂකයෝ උත්සාහ කරනවා මනාප ගන්න රාජපක්ෂ මහත්තයාගේ නම විකුණලා. එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් ඉල්ලන අපේක්ෂකයෝ මනාප වැඩි කර ගන්න හදනවා රාජපක්ෂ මහතාට පහර ගහලා'හිටපු ජනපතිවරයාගේ ප්‍රකාශක රොහාන් වැලිවිට කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමින්.

‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම අපේක්ෂකයෝ තමන්ට මනාපය ලබා ගන්න පාවිච්චි කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව. ඔවුන්ට ඕන කරලා තියනවා ඔවුන්ගේ මැතිවරණ කොට්ඨාශයට එක් කර ගෙන යන්න, ඒ රැළිවලට සහභාගී කරවන්න පමණක් නොවෙයි, තමන්ගේ නිවසට ගිහිල්ලා කෑම වේලක් හෝ තේකක් බිව්වොත් විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙයි කියන බලාපොරොත්තුවෙන් මෙතුමාට සෑම කෙනෙකුම ආරාධනා කරනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොලෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයෝ’ ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයන් හිටපු ජනපතිවරයාට පහර ගැසීම ඔස්සේ මනාප ලබා ගැනීමට කටයුතු කරන බවයි රොහාන් වැලිවිට සඳහන් කළේ.

‘බොරු චෝදනා කරලා, මෙතුමා ජාත්‍යන්තර කුඩු කාරයෝ සමග සම්බන්ධකම් තියනවා කියනවා’ යනුවෙන් පැවසූ රොහාන් වැලිවිට පසුගියදා කොළඹ නගරයේදී රවී කරුණානායක අමාත්‍යවරයාගේ ආධාරකරුවන් පිරිසක් ඉලක්ක කොට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ වගකීමද හිටපු ජනාධිපතිවරයා මත පැටවීමට උත්සාහ කරන බවයි කියා සිටියේ.

මහින්දගෙන් මෛත්‍රීට ඉල්ලීමක්?

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ගෞරවනීය ලෙස දේශපාලනයෙන් සමු ගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් රොහාන් වැලිවිට පැවසුවේය.

හිටපු ජනපතිවරයාට ඡන්දය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින ඡන්ද දායකයන් අධෛර්යයට පත් කිරීමේ අරමුණින් මෙවැනි බොරු මාධ්‍ය ප්‍රචාර ගෙන යන බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශකවරයා කියා සිටියේ.

‘කොහෙත්ම නැහැ, එහෙම ඉල්ලීමක් කරන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මැතිවරණ සටනෙදි ජයග්‍රහණය කරනවා. අනිවාර්යයෙන් අගමැති වෙනවා’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.