කොටහේන වෙඩි තැබීම පාතාල ගැටුමක් නොවේ - රවි

Image caption සිය ආධාරකරුවා පාතාල ලෝක නායකයකු බව අඟවමින් වෙඩි තැබීම පාතාල ගැටුමක් ලෙස හුවා දැක්වීමේ 'බංකොලොත් උත්සාහයක' නිරතව සිටින බව මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රතිවාදීන්ට චෝදනා

කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා සිදුවූ වෙඩි තැබීම පාතාල ලෝකයේ ගැටුමක් ලෙස පෙන්වීමට විපක්ෂයේ පමණක් නොව සිය පක්ෂයේම 'දේශපාලන අවස්ථාවාදීන්' උත්සාහයක නියැලෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.

වෙඩි තැබීමේදී තුවාල ලැබූ අමාත්‍යවරයාගේ තවත් ආධාරකරුවකු සඳුදා උදෑසන මියගිය අතර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි නිරෝෂන් සම්පත් වන ඔහු ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණේ පාතාල නායකයකු වන "ආමි සම්පත්"ලෙසින්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තම ආධාරකරුවා පාතාල ලෝක නායකයකු බව අඟවමින් මෙම වෙඩි තැබීම පාතාල ගැටුමක් ලෙස හුවා දැක්වීමේ 'බංකොලොත් උත්සාහයක' ඇතැමුන් නියලී සිටින බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ.

'පාතාල ක්‍රියාවක්'

"අහිංසක සම්පත් ආමි සම්පත් වෙන්නේ කොහොමද ? මේක පාතාල ලෝකේ ගැටුමක් කියන අය පොලිසියට ගෙනල්ල ප්‍රශ්න කරන්න ඕනේ කොහෙද පාතාල ලෝකේ හිටියේ කියලා," ඔහු පැවසීය.

Image caption වෙඩි තැබීමට සන්ධානයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය සම්බන්ධ බවට අමාත්‍ය රවි කරුණානායක චෝදනා කළේය

කෙසේ වෙතත් කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කොට තිබුණේ කොටහේන වෙඩිතැබීම දේශපාලන හෝ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ එකක් නොව එය හුදු පාතාල ක්‍රියාවලියක් යයි පැහැදිලි වන බවයි.

"අද මියගිය පුද්ගලයා පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් බව ඉතාමත්ම පැහැදිලියි. පාතාල කණ්ඩායම් නායකයෙක් ලෙස ඔහු කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙය මැතිවරණ ක්‍රියාවලියකට වඩා පාතාලයේ කණ්ඩායම් අතර ඇතිවෙච්ච් ගැටුමක ප්‍රතිපලයක් ලෙසයි අපි දකින්නේ," ඔහු පැවසීය.

මේ අතර මියගිය තම සොයුරා කිසිදු පාතාල කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයකු නොවන බවත් ඉදිරියේදී රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් රවි කරුණානායක අමාත්‍යවරයාට සහාය දැක්වූ අයෙක් පමණක් බවත් මිය ගිය නිරෝෂන් සම්පත්ගේ නැගණිය මාධ්‍ය හමුවේ කියා සිටියාය.

පක්ෂයේ ගැටුමක්?

මියගොස් තිබෙන්නේ ජනමාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබෙන "ආමි සම්පත්" ලෙස හඳුන්වන පුද්ගලයා නොවන බවට අමාත්‍යවරයා කරන ප්‍රකාශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරද තහවුරු කරයි.

Image copyright rajith keerthi thennakoon
Image caption කොටහේන වෙඩිතැබීම දේශපාලන හෝ මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ එකක් නොව එය හුදු පාතාල ක්‍රියාවලියක් බව කැෆේ සංවිධානය පවසයි

ඔහු පවසන්නේ වෙඩි තැබීමට හේතුව දේශපාලන ආරවුලක්ද නොඑසේනම් වෙනත් හේතුවක්ද යන්න තවමත් සොයා ගෙන නොමැති බවයි.

මේ අතර මෙම ගැටුම පාතාල ගැටුමක් බවට එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පිරිස් කරන ප්‍රකාශ පිළිබඳව මාධ්‍යවේදීහු රවී කරුණානායක අමාත්‍යවරයාගෙන් විමසූහ.

"එහෙම ප්‍රකාශ කරපු අය ගැන මානසික විද්‍යා පරීක්ෂණ සිදු කළ යුතුයි. ජනතාව තීරණය කළ යුතුයි මේ වගේ අය එක්සත් ජාතික පක්ෂයේ සිටිය යුතුද කියලා."

වෙඩි තැබීමෙන් තුවාල ලබූ තවත් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඒ අතරින් දෙදෙනකුගේ තත්වය බරපතල බවත් බීබීසී සංදේශයට වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර