'ඇක්ෂන් ෆේම්' ඝාතනය: ඥාතීන්ගේ අප්‍රසාදය

Image caption මරුමුවට පත් ‘ඇක්ෂන් ෆේම්’ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින්

මුත්තූර්හි ක්‍රියාත්මක වූ ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රාදේශීය සේවකයින් දාහත් දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් මේ දක්වා සාධාරණය ඉටු වී නොමැති බව ඔවුන්ගේ ඥාතීහු පවසති.

‘ඇක්ෂන් ෆේම්’ නමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය වෙනුවෙන් කටයුතු කළ මෙම සේවකයින් ඝාතනය කොට දස වසරකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් 'ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එම රාජ්‍ය නොවන සංවිධානය කටයුතු නොකිරීම' පිළිබඳ ඥාතීහු සිය කනගාටුව ප්‍රකාශ කර සිටිති.

මුරුමුවට පත් පිරිස් වෙනුවෙන් ‘ඇක්ෂන් ෆේම්’ සංවිධානය විසින් එක් පවුලකට දස ලක්ෂය බැගින් වන්දි මුදල් ලබා දී ඇති නමුත් දෙදහස් අට වසරෙන් පසු ඝාතන පිළිබඳ නිසි සොයා බැලීමක් හෝ තමන් සමග කිසිඳු සම්බන්ධතාවක් පැවැත්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඥාතීහු සිය නොසතුට පළ කරති.

තමාගේ එක් පුතෙකු එක්දහස් නවසීය අනූ අට වසරේදී සිදු වූ වෙඩි තැබීමකින් මුරුමුවට පත් වූ බව කියා සිටි හත් දරු පියෙකු වන කන්දසාමි සිවප්‍රකාසම් පවසන්නේ ‘ඇක්ෂන් ෆේම්’ ආයතනයේ ඝාතනය වූ සේවකයන් අතර තම දියණිය සිටි බවයි.

Image copyright b
Image caption මරුමුවට පත් ‘ඇක්ෂන් ෆේම්’ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින්

සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටින තමා වැනි සාමාන්‍ය වැසියන්ට කෙදිනක හෝ දෙවියන්වත් යුක්තිය ඉටු කර දෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඥාතීහු පවසති.

2006 වසරේ අගෝස්තු 4 වැනිදා ත්‍රිකුණාමලය මුත්තූර් ප්‍රදේශයේ එල්ටීටීඊය සහ ශ්‍රී ලංකා හමුදාව අතර දරුණු ගැටුම් පැවති වකවානුවේ මෙම ඝාතන සිදු වී තිබේ.

කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු සේවකයන් දාහත් දෙනෙකු තම නිවස් බලා යෑමට නොහැකිව කාර්යාලයේ රැඳී සිටින අතරතුර මෙම ඝාතන සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

දැඩි ගැටුම් පවතින හෙයින් අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන එම ප්‍රදේශයෙන් ඉවත් වීමට වහා කටයුතු කළ නමුත් ‘ඇක්ෂන් ෆේම්’ ආයතනය පමණක් එහි රැඳී සිටීමට කටයුතු කළ බව ඥාතීහු කියා සිටිති.

ඒ හේතුවෙන් එහි සේවය කළ පුද්ගලයන්ගේ ජීවිත අනතුරට පත් වූ බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.

Image caption කන්දසාමි සිවප්‍රකාසම් පවසන්නේ ‘ඇක්ෂන් ෆේම්’ ආයතනයේ ඝාතනය වූ සේවකයන් අතර තම දියණිය සිටි බවයි

මේ අතර මුත්තූර්හි සිදු වූ ඝාතන සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ‘ඇක්ෂන් ෆේම්’සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන්.

එවැනි ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සිය සංවිධානයේ පූර්ණ සහාය හිමි වනු ඇති බවත් ‘ඇක්ෂන් ෆේම්’සංවිධානය සඳහන් කොට තිබේ.

මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් මෙම ඝාතන සම්බන්ධයෙන් අදහස් දැක්වීමට යම් කිසි බියක් දක්වන බව පෙනී යන්නේ යැයි ප්‍රාදේශීය මාධ්‍යවේදියකු සංදේශයට පැවසුවේය.

සිද්ධියේ දී මරුමුවට පත් වූ සේවකයන්ගේ පවුල් බොහොමයක් රටෙන් පිට වී ඇති අතර තම පවුල ඇතුළු පවුල් කිහිපයක් පමණක් මෙම ප්‍රදේශයේ ඉතිරි වී සිටින බව කන්දසාමි සිවප්‍රකාසම් කියා සිටියේය.