මැද පෙරදිග මරණ 28%ක් හදිසි අනතුරු

මැද පෙරදිග ඇතුළු විදේශ සේවයට ගිය ශ්‍රී ලාංකිකයන්ගේ වාර්ෂික මරණ සංඛ්‍යාවෙන් සියයට 28 පමණ හදිසි අනතුරුවලින් සිදුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

මේ වසර ආරම්භයේ සිට ජූලි මස අවසානය දක්වා කාලය තුළ මැද පෙර දිග ඇතුළු රටවල් ගණනාවක සිට ශ්‍රී ලාංකික සේවකයන්ගේ මළ සිරුරු එක සිය පනස් එකක් ගෙන විත් ඇති බව කාර්යාංශය සඳහන් කරයි.

මෙම මළ සිරුරු කුවේට්, සවුදි අරාබිය, කටාර්, සයිප්‍රසය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු රටවල් 16 ක සිට ගෙන ආ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය ප්‍රකාශ කළේ.

මේ අතර පිරිමි මළ සිරුරු 96 ක් ද කාන්තා මළ සිරුරු 55 ක් ද වෙයි.

2014 වසරේදී මෙසේ මිය හිය සංඛ්‍යාව තුන්සිය පහළොවක්.

වෛද්‍ය සහතික

මළ සිරුරු සමඟ වෛද්‍ය සහතික ද එවා ඇති අතර, ඉහල තට්ටුවක සිට පහලට ඇද වැටීම , සිය දිවි හානි කර ඇනීම, ගෙල වලලා ගැනීම, හෘදයාබාධ සහ මෝටර රථ අනතුරු මිය යාමට හේතු වශයෙන් දක්වා ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මෙසේ මිය යන සංඛ්‍යාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ වාර්ෂිකව සාමාන්‍ය හේතු මත සියයට 67 ක් පමණ ද හදිසි අනතුරුවලින් සියයට 28 ක්ද සිය දිවි නසා ගැනීම් සියයට 5 ක්ද ලෙස වාර්තාවී ඇති බවයි.

Image caption ඉරාකයේ කුර්දිස්තාන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක්

පශ්චාත් මරණ පරීක්ෂණ

මරණයක් සිදු වූ විට දින දෙකක් ඇතුළත පවුලේ ඥාතීන්ට දැනුම් දෙන බවත් එම මරණ සැක කටයුතු බවට ඥාතීන් පැමිණි කළ හොත් ඒවා පිළිබඳ විදේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහභාගීත්වය ඇතිව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

ශ්‍රී ලංකාවට මළ සිරුරු ගෙන ආ පසුවත් සැක කටයුතු බවට ඥාතීන් කියා සිටිය හොත් ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙසේ විදේශ රටවල සේවයේ නිරතව සිටියදී මිය යන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව පෙරට වඩා අඩුවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය කියා සිටියේය.

සේවයට යාමට පෙර ලබා දෙන පුහුණුව සහ අවබෝධය මෙන්ම ආහාර රටාවන් පිළිබඳව දැනුවත් කිරීම හේතුවෙන් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.