ලසන්ත ඝාතනයේ සැකකරුවන් ආණ්ඩුවේද? - මහින්ද

Image caption "දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ?"

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කරයි.

හිටපු ජනපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

2005 දී ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව හිටපු ජනපතිවරයා බීබීසී ය සමඟ පැවැත්වූ පළමු සාකච්ඡාව මෙයයි.

"දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?," ඔහු ප්‍රශ්න කරයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල."

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන්ද ඒ හා සමානම සැකයක් මතුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

"දැන් ඇයි පරීක්ෂණ නොකරන්නේ? ඒවා යට ගහන්නේ ඇයි? එහෙම නම් අපිට සැකයක් ඇතිවෙනවා ඒ කට්ටිය ඉන්නේ මේ ආණ්ඩුව තුල කියල."

'කැලෑ නීතිය'

රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ 'කැලෑ නීතිය' බවට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයානගන චෝදනාවද ඔහු ප්‍රතික්ෂේප කරයි.

"ඒක අමු බොරුවක්. ඒක ඔවුන් විසින් ගොතන ලද මඩ ප්‍රහාරයක්."

Image copyright AFP
Image caption දෝෂාභියෝගයකින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කළේ ව්‍යවස්ථානුකූලව බවයි, හිටපු ජනපතිවරයා පවසන්නේ

ජනවාරි ජනපතිවරණයේදී තමන් පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව දිගින් දිගටම 'අඳුරු යුගයකට' ගමන් කරනවා විනා රටට කිසිදු යහපතක් සිදු වී නැති බව සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරාපේක්ෂකයාගේ තර්කයයි.

කෙසේ නමුත් සිය පාලන යුගයේදී ඇතැම් වැරදිකරුවන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම 'වරදක්' බව ඔහු යළිත් වරක් පිළිගත්තේය.

"දැන් බලන්නකෝ ප්‍රේමදාස මහත්තයාගේ දුව. දුලාංජලී ප්‍රේමදාස හොර සල්ලි අච්චු ගහල එක ගිහින් මාරු කරන කොට මිටිය පිටින් අහුවුනාම ඒ පරීක්ෂණය ක්‍රමානුකූලව, නීත්‍යානුකූලව කරන්න මම ඉඩ දුන්නේ නෑ," ඔහු සඳහන් කළේ ඒ වැරදිකරුවන් කවුදැයි සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

"මේ ඔයාල අහපු නිසා මම කියන්නේ. ඉතින් ඒක මම දැන් හිතනවා වරදක් කියල."

18 වැනි සංශෝධනය

හදිසි දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීම වැරදි ක්‍රියාමාර්ගයක් නොවන්නේ දැයි විමසූ අවස්ථාවේ හිටපු ජනාධිඅප්තිවරයා සඳහන් කළේ තමන් ක්‍රියා කළේ රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව බවයි.

Image copyright bbc
Image caption "දුලාංජලී ප්‍රේමදාස හොර සල්ලි අච්චු ගහල එක ගිහින් මාරු කරන කොට මිටිය පිටින් අහුවුනාම ඒ පරීක්ෂණය ක්‍රමානුකූලව, නීත්‍යානුකූලව කරන්න මම ඉඩ දුන්නේ නෑ"

"දැන් මේ ආණ්ඩුව අනිත් අග්‍ර විනිශ්චයකාරයා පහ කරපු ආකාරයටද පහ කරන්න ඕන එහෙම නම්?" ඔහු ප්‍රශ්න කළේ මඳක් ආවේගයකින්.

කෙසේ නමුත් සමස්ත දීර්ඝ සාකච්ඡාව පුරාම ඔහු අදහස් පළ කළේ ඉතා සන්සුන්ව සහ ඇතැම්විට සිනහසෙමින් ඉතා මිත්‍රශීලී විලාසයකින්.

"මේ ක්‍රමය ඔයාල කියනව නම් හරි ක්‍රමය කියල, අනේ මන්ද ..."

සති කිහිපයක් ඇතුලත 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිදු සංවාදයකින් තොරව සම්මත කරගැනීම පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ රටේ සියලු දේ තීරණය කරනු ලබන්නේ ජනතාව විසින් බැවින් එහි කිසිදු වරදක් නැති බවයි.

"ජනතාව හොඳට දන්නවා තියා ගන්න ඕන කාලේ. නැති එක. ඒක ජනතාවට ඉඩ දෙන්න ඕන," ඔහු වැඩිදුරටත් පැවසීය.

"අපි ඔක්කොම දැන් බටහිරට ගැති වෙලානේ. බටහිරින් එන දේවල් සියල්ල හරි කියන පදනමේ ඉඳගෙන තමයි ඔබ කථාකරන්නෙත්," ඔහු සංවාදය නිමා කළේ එලෙසින් මා වෙත පුද්ගලික විවේචනයක්ද එල්ල කරමින්.