දෙපැත්තටම බහුතරය ගන්න බැරි වෙයිද?

මෙවර මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම 113ක අවශ්‍ය බහුතරයක් හිමි නොවිමට ඉඩකඩ වැඩි බවට නැගෙන මතයේ ඇත්තක් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පිළිගනී.

මෙවර මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ එකතුව ආසන 25කට වඩා දිනා ගැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා ප්‍රධාන පක්ෂ දෙකට ඉතිරි ආසන 200න් අවශ්‍ය 113 බහුතරයක් ලබාගැනීමට අපහසු තත්වයක් ඇති විය හැකි නේදැයි යන ප්‍රශ්නයට බිබිසි සිංහල ෆේස් බුක් චැට් වැඩසටහනේ පිළිතුරු දෙමිනුයි ආමාත්‍යවරයා එම අදහස් පළ කලේ.

විදේශ බලවේග

එහිදී මහලේකම්වරයා පෙන්වා දුන්නේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කර බහුතරයක් නැති පාර්ලිමේන්තුවකට රට තල්ලු කිරීමට විදේශ බලවේග වලට අවශ්‍ය වී තිබුණු බවයි.

"මේ නිසාම තමයි පසුගිය ජනාධිපතිවරණයේ විධායක ධුරය අහෝසි කළ යුතුයි කියන තැනට කටයුතු සිද්ද වෙන්නේ, වර්තමාන මැතිවරණ ක්‍රමය යටතේ එක පාර්ශ්වයකට ආණ්ඩුවක් හදන්න බහුතරය ගන්න බැරි වුනොත් කාත් එක්කද ආණ්ඩුව හදන්න වෙන්නේ, එතකොට රට දේශපාලන වශයෙන් අස්ථාවර වෙනවා" මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

Image copyright b

මැතිවරණ ක්‍රමය

19 වන ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාවෙන් විධායක අගමැති ධුරයක් බිහි කිරීමට සුදානම් වෙද්දී ඊට සමගාමිව මැතිවරණ ක්‍රමයද වෙනස් කළ යුතු බවට තම පක්ෂය හඬ නැගුවේ මෙම රට අස්ථාවර කිරීමේ ව්‍යාපෘතිය හඳුනා ගැනීම නිසා බවයි මහලේකම්වරයා පෙන්වා දුන්නේ.

"මම හිතනවා මෙම මැතිවරණයේ ප්‍රතිඵල ඔබ කියන විදිහට ආවොත් ඒකම ඒ රටේ ජනතාවට හොඳ සාක්ෂියක් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා ගෙනාපු එකේ යටි අරමුණ මොකක්ද කියලා" මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එකට වැඩ කිරීමට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි සුසිල් ප්‍රේමජයන්ත මහලේකම්වරයා පෙන්වා දුන්නේ.