කොටහේන වෙඩි තැබීම - සැකකරුවෙක් අත්අඩංගුවට

කොටහේන බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ වාහනය සහ සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සංදේශයට පැවසුවේය.

අමිල නමැති 28 හැවිරිදි එම පුද්ගලයා කාය වර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අයකු බවට හඳුනාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ පුද්ගලයා භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර නඩුවේ ද සැකකරුවකු බවයි ඔහු සඳහන් කළේය.

ඔහුගෙන් ලැබුණ තොරතුරු සහ අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇති තොරතුරු අනුව ප්‍රධාන සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ .

මේ අතර පාතාල කල්ලි කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඔහු පැවසුවේය.

පොලිස්පතිවරයා විසින් අද මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරීවරුන් වෙත උපදෙස් ලබා දෙමින් අපරාධකරුවන් පිළිබඳ තොරතුරු රැස් කොට ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට ඇති බවත් සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.