වලසුන් සත්වෝද්‍යානයට ගැනීම 'ජාතික අපරාධයක්'

Image copyright Rahul Samantha Hettiarachchi
Image caption නිදහස් කිරීමට සූදානම් වලසකුට දැමීම සඳහා 600000.00 පමණ වටිනා GPS කොළරයක් පරිත්‍යාග ලෙස ලැබී තිබේ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විරෝධය නොතකා වලසුන් සිව්දෙනකු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට ගැනීම 'ජාතික අපරාධයක්' බව සමස්ත ලංකා වනජීවී නියාමක නිළධාරින්ගේ සංගමය පවසයි.

එය වලක්වන මෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත විශේෂ ඉල්ලීමක්ද කර තිබියදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි වලසුන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාර කර ඇති බවයි, සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

අතරමංව සිටියදී උඩවලව ඇත් අතුරු සෙවණට හමු වී තිබෙන වලස් පැටවුන් දෙදෙනකුත්, තුවාල ලබා ප්‍රතිකාර කිරීමෙන් සුවය ලබා ඇති වලසකු සහ උගුලකට හසුවී සිටිය දී බේරාගෙන ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය මඟින් ප්‍රතිකාර කරන ලද වලස් පැටවකුත් මෙසේ භාර දී ඇති බවත් නිවේදනයේ සඳහන්.

'හෙලා දකිනවා'

සංගමය පවසන පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම වලසුන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාරදී තිබෙන්නේ සංචාරක හා ක්‍රිඩා අමාත්‍ය තුමාගේ ඉල්ලීම පරිදියි.

එමෙන්ම අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ 'අත්තනෝමතික සහ අසාධාරණ ක්‍රියාකලාපය' දැඩිව හෙලා දකින බවත් සමස්ත ලංකා වනජීවී නියාමක නිළධාරින්ගේ සංගමය පවසයි.

Image copyright AFP
Image caption වලසුන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාරදී තිබෙන්නේ සංචාරක හා ක්‍රිඩා අමාත්‍ය තුමාගේ ඉල්ලීම පරිදි බවයි සංගමය පවසන්නේ

උඩවලව ඇත් අතුරු සෙවණ භාරයේ සිටි වලසුන් තිදෙනා මිනිසුන් හා ගැටීම අවම කර කැලයට අනුගතවීමට සුදුසු පරිසරයක ජීවත් වන අතර ඔවුන් කැලයට මුදා හැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර අවසන්ව ඇත.

නිදහස් කිරීමට සූදානම් වලසකුට දැමීම සඳහා 600000.00 පමණ වටිනා GPS කොළරයක් පරිත්‍යාග ලෙස ලැබී ඇති අතර, කැලයට මුදා හැරීමට පෙර තවදුරටත් කැලයට අනුගත කිරීම සඳහා රඳවා තබන ස්ථානයට අවශ්‍ය දැල් සහ අනෙකුත් ද්‍රව්‍ය යාල ජාතික උද්‍යානයේ කලාප අංක 02 වෙත මේ වනවිට ගෙන ගොස් දමා තිබේ.

ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ සිටින වලසාද මිනිසුන් හා ගැටීම අවම කර කැලයට අනුගතවීමට සුදුසු පරිසරයක ජීවත් වේ.

600 ට ආසන්න ප්‍රමාණයක් වූ ශ්‍රී ලංකාවේ වලස් ගහණයෙන් එක් සතකු හෝ අනතුරකට භාජනය වූයේ නම් හා ඉන් පසුව නැවත එම සත්වයා ස්වභාවික පරිසරයට අනුගත විය හැකි මට්ටමක සිටී නමි එම සත්ත්වයා ස්වභාවික පරිසරයට නිදහස් කිරීම සියලූ වනජීවීන් වෙනුවෙන් පෙනී සිටින එකම රාජ්‍ය ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවයි, සංගමය අවධාරණය කරන්නේ.